Friday, September 20, 2024

General line - 0115112241

විගණකාධිපති අද කෝප් කමිටුව හමුවට




ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අද (29) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මෙහිදී කෝප් කමිටුව ලබාදෙන නිර්දේශයන් අනුව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබාදෙනවාද? නැද්ද? යන්න තීරණය කෙරෙන බවයි ආණ්ඩුව ප‍්‍රකාශ කළේ. ඒ අනුව අද පැවැත්වෙන කෝප් කමිටු රැස්වීම විශේෂ වැදගත්කමකින් යුතු වනවා.

මේ අතර එම කමිටුව නියෝජනය කරන සාමාජිකයන් බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මත කිහිපයක සිට කටයුතු කරන බවයි අනාවරණ වුණේ. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා පිළිබඳ තීරණයක් ගත යුත්තේ කෝප් කමිටුව නොව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් බවයි.

මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලසීමාව හෙටින් අවසන් වනවා. ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවට වෙනත් සුදුසු අයෙකු එම ධුරයට පත් කළ යුතු බවයි.

මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ බව කියන නියෝජ්‍ය අධිපතිවරුන් එම ධුරයට පත් නොකළ යුතු බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.