Friday, April 19, 2024

General line - 0115112241

තෙරේසා මව්තුමිය ශාන්තුවරයට එසවෙයි




නොබෙල් සාම ත්‍යාගලාභී තෙරේසා මව්තුමිය ශාන්තුවරියක් ලෙස නම් කර තිබෙනවා. ඒ, ඉන්දියාවේ දුප්පත් ජනතාව වෙනුවෙන් ඇය සිදුකළ විශිෂ්ට සමාජ සේවයට ගරු කරමින්.

තෙරේසා මව්තුමිය මෙලෙස ශාන්තුවරයට ඔසවා තැබීම සිදුවූයේ පාප්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් වතිකානයේ පැවති උත්සවයකදීයි.

තෙරේසා මව්තුමිය ශාන්තුවරියකගේ තත්ත්වයට පත්කිරීමට ඉකුත් දෙසැම්බර් මාසයේදී පාප්වහන්සේගේ අනුමැතිය හිමිවුණා. ඒ, තෙරේසා මව්තුමිය සිදුකළ දෙවන ආශ්චර්යමත් සිදුවීම ද තහවුරු වීමත් සමගයි.

මොලයේ පිළිකාවකින් පීඩා විඳි බ‍්‍රසීල ජාතිකයෙකු විශ්මයජනක ලෙස සුවපත් කිරීම එම ආශ්චර්යමත් සිදුවීමයි. උදරයේ ගෙඩියකින් පීඩා විඳි ඉන්දීය කාන්තාවක් සුව කිරීම එහි පළමු ආශ්චර්යමත් සිදුවීම වුණා.

1910 වසරේ අගෝස්තු මස 26 වෙනිදා උපත ලද තෙරේසා මව්තුමිය 1997 වසරේ සැප්තැම්බර් මස 5 වෙනිදා ඉන්දියාවේ කොල්කටා නුවරදී අවසන් සුසුම් හෙලුවා. ඒඩ්ස් ආසාධිතයින්, ලාදුරු හා ක්ෂය රෝගය වැලඳුණු පුද්ගලයින් වෙනුවෙන් තෙරේසා මව්තුමිය ඉටුකළ විශිෂ්ට සේවාව හා දුප්පතුන් වෙනුවෙන් සිදුකළ ස්වෙච්ඡා සේවාවන් අගයමින් ඇයට 1979දී නොබෙල් සාම ත්‍යාගය හිමි වුණා.