Thursday, September 19, 2024

General line - 0115112241

ගුවන් තොටේ අඩුපාඩුවලින් සංචාරක කර්මාන්තයත් අවදානමක




කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළෙහි පවතින අඩුපාඩු කඩිනමින් නිවැරදි නොකළහොත් සංචාරක ව්‍යාපාරයට ද නරක බලපෑමක් ඇති විය හැකි බව සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ විදෙස් වෙබ් අඩවියක් විසින් ඉකුත් දා පළ කර තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

ආසියානු රටවල ඉතාම දුර්වල ගුවන් තොටුපොළ අතරින් කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළ 10වන ස්ථානයේ තිබෙන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබුණා.

මීට හේතු වී ඇත්තේ වැඩිවන මගීන්ට ගැලපෙන පරිදි ගුවන් තොටුපොළ පහසුකම් සංවර්ධනය වී නොතිබීම බවයි අමාත්‍ය ජෝන් අමරතුංග වැඩිදුරටත් කියා සිටියේ.

“රටට එන විදේශිකයන්ගේ සංඛ්‍යාව හැටියට ගුවන්තොටුපලේ තියෙන පහසුකම් මදි. ගන්න පුළුවන් එකම පියවර තමයි හැකි ඉක්මනින් ගුවන් තොටුපල සංවර්ධනය කරන්න ඕනේ, පහසුකම් වැඩිකරන්න ඕනේ. ගුවන් තොටුපල ඇතුලේ යුද්ධයක් වගේ. ඊයේ රෑත් මම දැක්කා හරියට සෙනග , ඉඩ නැහැ VIP LOUNGE වල. ඒවායේ සේවකයො වැඩි කරලා , නිලධාරීන් වැඩිකරලා , යන එන පහසුකම් වැඩිකරලා වැඩකෙරුවේ නැත්නම් සංචාරකයන් ලංකාවට එන්නැතුව යන්න පුළුවන්.

දැනට සංචාරකයන්ගේ අඩුවීමක් නැහැ එන්න එන්න වැඩිවෙනවා නමුත් ඒ වැඩිවිල්ල අපි වර්ධනය කරගන්න නම් එයාලගේ පහසුකමුත් ඒ විදිහට අපි සහතික කරන්න ඕනේ”.

කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ පවතින අඩුපාඩු මේ වන විට හඳුනාගෙන ඇතැයි ප‍්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මීට පෙර කියා සිටියා.

එම අඩුපාඩුවලට පිළියම් යෙදීම ද දැනටමත් ආරම්භ කර ඇති බවයි ඔහු පැවසුවේ.