Friday, September 20, 2024

General line - 0115112241

අඟුරු කකා වතුර බිබී රටේ සල්ලි ගිලින යකා



නොරෙච්චෝලේ තාප බලාගාරයට ගල් අඟුරු සැපයීම කරනු ලබන්නේ ලංකා කෝල් කම්පනි (ප්‍ර‍යිවට්) ලිමිටඩ් නම් ආයතනනයි. 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත සමාගමක් වන ලංකා කෝල් කම්පනි (ප්‍ර‍යිවට්) ලිමිටඩ් වෙත ගල් අඟුරු සපයන සැපයුම්කරුවන් රැසකි.

මෙම ගල් අඟුරු සැපයීමේ කොන්ත්රාත්තුව අදාල සමාගම් වෙත ලැබෙනුයේ ලංකා කෝල් කම්පනි (ප්‍ර‍යිවට්) ලිමිටඩ්හි ලියාපදිංචි වීමෙන් අනතුරුව, ලියාපදිංචි සමාගම් අතර විවෘත ටෙන්ඩර් කැඳීමකින් අනතුරුවය.

Liberty Commodities යනු ලංකා කෝල් කම්පනි (ප්‍ර‍යිවට්) ලිමිටඩ් ආයතනයේ ලියාපදිංචි සැපයුම් කරුවෙක්ව සිටි සමාගමකි. මෙම සමාගම විසින් කරන ලද අක්‍ර‍මිකතාවක් හේතුවෙන් පසුගිය සමයේදී රජයට සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් මිලියන 2ක් පමණ විය. මේ හේතුව නිසාම Liberty Commodities සමාගම අසාදු ලේඛණ ගත කිරීමට ලංකා කෝල් කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය කටයුතු කර ඇත.

එම සමාගම අසාදු ලේඛණයෙන් ඉවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ප්‍රබලයකු වන සුරේන් බටපොල නමැත්තෙක් දිගින් දිගටම බලපෑම් කළද ඉන් පලක් වී නොමැත.

ලංකා කෝල් කම්පනි (ප්‍ර‍යිවට්) ලිමිටඩ් වෙත SIMEC Group Limited නම් හොංකොං සමාගමක් නව සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරන්නේ මේ අතරය. SIMEC Group Limited සමාගම ඉක්මනින්ම ලියාපදිංචි කරනා ලෙසට, අදාල අමාත්‍යංශයේ පෙර කී ප්‍රබලයාම මේ වනවිට බලපෑම් කරමින් සිටිනා බව විශ්වාස කටයුතු ආරංචි පවසයි.

මෙහිදී සිදුවන්නේ Liberty Commodities බැරිනම් SIMEC Group Limited න්‍යාය බව පසක් වන්නේ, අනුරාධ දෙල්ගොඩ නමැත්තකු මේ සමාගම් දෙක පිටුපසම සිටිනා බැවිනි.

අනුරාධ දෙල්ගොඩ, අසාදු ලේඛණගත Liberty Commodities සමාගමේ දේශීය ඒජන්තවරයා වන අතර, SIMEC Group Limited සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වේ.

ඒ අනුව පෙනී යන්නේ සුරේන් බටපොල නමැත්තා මේ උත්සාහ කරන්නේ අනුරාධ දෙල්ගොඩ සිටිනා සමාගමකට ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුව බාර දීමට බව සක්සුදක් සේ පැහැදිළිය.