Friday, September 20, 2024

General line - 0115112241

සිල්වෙස්ටර් පාසල් බොක්සිං ක්‍රීඩකයා තරගය පැරදී විනිසුරුගෙනුත් පහරකාලා (VIDEO)




කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති බොක්සිං තරගාවලියක් අතරතුර එහි විනිසුරුවරයකු බොක්සිං ක්‍රීඩකයෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

තරගය පැවැත්වුණේ මහනාම විද්‍යාලයේ ක්‍රීඩකයෙක් සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ක්‍රීඩකයෙක් අතරයි. මෙම තරගය අවසානයේ සිල්වෙස්ටර් ශිෂ්‍යයා පරාජයට පත්ව ඇති අතර පරාජයෙන් පසු ඔහු සිය ප්‍රතිවාදී මහානාම ක්‍රීඩකයාට අතට අත නොදී බොක්සිං වලල්ලෙන් පිටතට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පසුව ක්‍රීඩකයින්ගේ විවේක කාමරය වෙත පැමිණ ඇති අදාළ තරගයේ විනිසුරුවරයා සිල්වෙස්ටර් ශිෂ්‍යයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහර දී ඇති බවයි පැවසුනේ. පහර දීමෙන් පසු එම ශිෂ්‍යයාව බොක්සිං වළල්ලේ සිටි ජූරිය හමුවට බලහත්කාරයෙන් රැගෙන යාමටද උත්සාහ දරා ඇති බවත් සඳහන්. අදාළ පහරදීමෙන් තුවාල ලැබූ පාසල් සිසුවා මේ වන විට රෝහල්ගතකර ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

මෙම පහර දීම වැලැක්වීම සඳහා මැදිහත් වූ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ බොක්සිං පුහුණුකරු විසින් අදාළ විනිසුරුවරයාගේ ක්‍රියාවට විරෝධය පළ කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් තරගාවලියේ විනිසුරුවරුන් විසින් ඔහුගේ පුහුණුකාර තනතුර තහනම් කිරීමට ද සාමූහික තීරණයක් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සූදානම් වන බවද වාර්තා වෙනවා. ඒ සඳහා එම විද්‍යාලයේ ආදිසිසුන් සහ දෙමව්පියන් කටයුතු කරමින් සිටින බවත් සඳහන්.