Friday, September 20, 2024

General line - 0115112241

වහා ඉවත් වෙන්නැයි දොස්තරලට නියෝගයක් (UPDATE)




අධ්‍යාපන අමාත්‍යංශ පරිශ‍්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ශ‍්‍රවණාගාරය තුළ රැඳී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ට වහාම එම ස්ථානයෙන් ඉවත් වන්නැයි කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද (15) නියෝගයක් නිකුත් කළා.

ඒ, අධ්‍යාපන අමාත්‍යංශය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. තම දරුවන්ට රජයේ ප‍්‍රසිද්ධ පාසල් හෝ ජාතික පාසල් ලබා දෙන්නැයි ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත‍්‍රික්ක 03 ක අද සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරනවා.

ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලමින් වෛද්‍යවරුන් දෙසිය දෙනෙකු පමණ ඊයේ (14) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ශ‍්‍රවණගාරයට පැමිණියා. කෙසේ වෙතත් අධිකරණ නියෝගයට ගරු කරමින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙස වෛද්‍යවරුන්ට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් ප‍්‍රකාශ කළා.

මේ අතර අද පස්වරු 03.00 ට මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දුන් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කුරුණෑගල, මහනුවර සහ මාතර යන දිස්ත‍්‍රික්කවල සිදු කරන වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් රැසක් පීඩාවට පත්ව සිටිනවා.  ඉන් පීඩාවට පත් රෝගීන් කිහිපදෙනෙකු නෙත් නිව්ස් වෙත අදහස් දැක්වමින් සඳහන් කළේ මුදල් අඟහිගකමින් රජයේ රෝහලකට පැමිණිවිට එහි සිදුවෙන අපහසුතා නිසා කලකිරීම් ඇතිවෙන බවයි. ඇතැම් අය සඳහන් කළේ දොස්තරවරුන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ දරුවන්ද රෝහල්වල පීඩාවට පත්වෙන බවයි.


ඇමති එනතෙක් බලං හිටි දොස්තරලා දෙන්නෙක් රෝහලට – වර්ජනය අද

(Sep 15, 2016 @ 07:45)

තම දරුවන්ට රජයේ ජනප‍්‍රිය පාසලක හෝ ජාතික පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අවසර ලබා දෙන්නැයි බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (15) දිස්ත‍්‍රික්ක 03 ක සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරනවා.

එම සංගමයේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය නවින්ද සොයිසා සඳහන් කළේ කුරුණෑගල මහනුවර සහ මාතර යන දිස්ත‍්‍රික්කවල රෝහල් කේන්ද්‍ර කර ගනිමින් මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. මෙම ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් දෙසිය දෙනෙකු පමණ ඊයේ (14) පෙරවරුවේ සිට බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේ ශ‍්‍රවණගාරයේ රැඳී සිටියා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එවැනි සාකච්ඡාවක් සඳහා සහභාගී වූයේ නැහැ. ඊයේ රාත‍්‍රියේ ඇති වූ හදිසි තත්ත්වය මත ශ‍්‍රවණාගාරයේ රැඳී සිටි වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝහල්ගත කිරීමට ද සිදු වූ බව වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළා.

සිය ඉල්ලීමට විසඳුම් නොලැබුණහොත් අද දිනයේ සිදු කරන වෘත්තීය ක‍්‍රියාමාර්ගය තවදුරටත් ව්‍යාප්ත කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


‘වෛද්‍යවරුන් නොමග ගිහින්’ – අධ්‍යාපන අමාත්‍යාංශය

(Sep 14, 2016 @ 18:38)

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු විකෘති කර දක්වමින් ජනතාව නොමග යවන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ශී‍්‍ර ලංකාවේ ජාතික පාසල් 352 ක් පවතින බවද එසේ තිබියදී වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, මහනුවර ධර්මරාජ, කිංග්ස්වුඞ්, මහාමායා, උසස් බාලිකා කුරුණෑගල, මලියදේව බාලක සහ කුරුණැගල මලියදේව බාලිකා ඇතුළු පාසල් 12 ක් සඳහා පමණක් සිය දරුවන් ඇතුළත් කරන ලෙස යැයිද අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එ් අනුව එය කිසිසේත් සාධාරණ ඉල්ලීමක් නොවන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාවරය වන්නේ.

කෙසේවෙතත් දිස්ත‍්‍රික්ක 3 ක වෛද්‍යවරුන් හෙට (15) සංඛේත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා. එහි ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා පැවසුවේ වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නිසා මෙම වැඩවර්ජනය සිදු කරන බවයි.