රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හදිසියේ මාරුකර තිබෙනවා. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් නිසා අමාත්‍යාංශ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා පිළිබද තරමක් වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ බව කියන විවිධ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ හමුවේ රාජ්‍ය නිලධාරීන් රැසක් දැඩි චෝදනාවලට ලක්ව සිටියා. ඇතැම් නිලධාරීන්ට එල්ල වී තිබූ චෝදනා හමුවේ, ඒවායින් ඔවුන් නීත්‍යානුකූලව වැරදිකරුවන් කරන තුරු ලැබිය යුතු රාජ්‍ය අංශයේ වරප‍්‍රසාද නොඅඩුව ලැබිය යුතු බවට දඩල්ලගේ මහතා දැඩි තීන්දුවක ද සිටියා. පසුගියදා ජාතික පුවත්පතකටද ඒ පිළිබද සිය අත්දැකීම් විස්තර කරමින් ඒ මහතා දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක්ද ලබාදී තිබුණා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්, චෝදනාවලට ලක්වූ රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කරන බවට රාජ්‍ය නොවන සංවිධාන සහ පුරවැසි සංවිධාන රැසක් පසුගිය සමයේ චෝදනාද එල්ල කරමින් සිටියා. ඇතැම් සංවිධාන, පසුගිය සමයේ යහපාලනය සහ නව ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි සංවිධානද වනවා. මෙම ස්ථාන මාරුවට ආසන්නතම හේතුවක් වී ඇත්තේද එම සංවිධානවල බලපෑම හා පීඩනය බවයි රාජ්‍ය පරිපාලන නිලධාරීන් ප‍්‍රකාශ කරන්නේ.
රිවිර පුවත්පත දඩල්ලගේ මහතා සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලද කොටසකි.
වැඩකරන නිලධාරීන් යම් යම් හේතු පෙන්වමින් මේ ආකාරයට මර්දනය කරනකොට රාජ්‍ය සේවය තුළ සිටින අනිකුත් නිලධාරීන් වගකීමෙන් තමන්ගේ රාජකාරි ඉටුකිරීමේදී යම් බියක් දක්වන්න පුළුවන්. එය රාජ්‍ය පරිපාලනයට බලවත් හානියක්.
එහෙම සමාජ මතයක් තියෙනවා. නමුත් මේ කතාව ඇතුළේ නොකියවෙන ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ඔස්සේ තමයි ජන මතය ගොඩනැගෙන්න ඕන.
1977ට පෙර තිබුණු තත්ත්වය තමයි ඡන්දය ඉල්ලද්දී කොට්ඨාසය තුළ පමණයි දේශපාලනඥයා ජනප්‍රිය විය යුත්තේ. ඔහු එහි ජනප්‍රිය වෙන්න නොයෙකුත් දේවල් කළා. නමුත් මේ තත්ත්වය 1977න් පස්සේ අලුත් මැතිවරණ ක්‍රමයත් සමග වෙනස් වුණා. මෙහි පරිධිය වැඩිවීම තුළ බෙදීම ඒ කියන්නේ විවිධ දේවල් මනාපය ලබාගැනීම අරමුණු කරගෙන ඡන්දදායකයන්ට දීමේ ක්‍රමය පුළුල් වුණා. දැන් බලන්න දේශපාලනය තුළ මේ දීමේ සංකල්පය හැදෙන හැටි. හාල් බෙදිල්ල, ජන සවිය, ජන සවිය කියන්නේ බෙදිල්ලක් තමයි. දැන් බලන්න මිනිහෙක් නිවාස ණයක් ගත්තාම ඒකට ගෙවන්න ඕන ඒ මනුස්සයා නමුත් චෙක්පත ලබාදෙන්නේ දේශපාලනඥයා. එතනින් මතුවෙන්නෙත් දීමේ සංස්කෘතිය. ඊට පස්සේ සමෘද්ධිය ආවා. සමෘද්ධියෙන් කරන්නෙත් බෙදීම. ඊට පස්සේ පාසල් ළමුන්ට ඇඳුම් බෙදීම, පොත් බෙදීම, සිමෙන්ති බෙදීම, නිවාස ණය බෙදීම, ඔය වගේ බෙදීමේ සංස්කෘතියක් වර්ධනය වුණා. ඕකේ ඇතුළෙම තමයි තියෙන්නේ දිනපොත් බෙදීම, ලිත් බෙදීම, දැන් ඔය දිනපොත් බෙදීමේ චෝදනාවකුත් තියෙනවානේ. දැන් ඒවා කවුද බෙදන්නේ දේශපාලනඥයා. මේක දේශපාලනය එක්ක බැඳුන සංවර්ධන සංස්කෘතියක්. මේක රටට ඵලදායි ද නැද්ද කියලා මේ රටේ කිසිම බුද්ධිමතෙක් මේ යහපාලනය ගැන කතා කරන කිසිම කෙනෙක් තර්ක කරලා නෑ. මේ බෙදිල්ලෙන් වෙන්නේ රජයේ මුදල් දේශපාලනඥයන්ගේ නාමයෙන් බෙදීම. දැන් බලන්න පාරක් හැදුවම කී දෙනෙක්ගේ ෆොටෝ ගහනවද? එතන තියෙන්නේ මහජන මුදල්නේ. මොකටද ෆොටෝ ගහන්නේ. අන්න මේ බෙදීමේ සංස්කෘතිය ඵලදායිද නැද්ද කියන එක තමයි සාකච්ඡාවට බඳුන් වෙන්න ඕන.
මම මේවා හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ. දැන් අපේ රටේ පොත් බෙදනවා. හැබැයි එංගලන්තයේ පොත් බෙදන්නේ නෑ. හැබැයි එංගලන්තෙ ළමයට ඕනතරම් කියවන්න පංතියේ පොත් තියෙනවා. අපේ මේ බෙදීමේ සංස්කෘතිය තුළ තමයි දුප්පතුන් තවදුරටත් දුප්පතුන් බවට පත්කරලා තියෙන්නේ. අධ්‍යාපනික වශයෙන් ගත්තොත් විචරශීලී නොවන උපාධිධාරී පරපුරක් ගොඩනැගිලා තියෙන්නේ අන්න ඒ සීමාකිරීම් තුළ.
අද බෙදන්නේ නැත්තේ කවුද කියන්න. ඔය චෝදනාවට ලක්වෙලා ඉන්න රණවක ගැහුවා ලිත්. මගේ ළඟ තියෙනවා ඊට ඉස්සෙල්ලා ඉඳලා මේ හැමෝම ගහපු ලිත්. මේ අපේ ඇමැතිතුමත් ලිත් ගැහුවා. ලිත් ගහලා මොනරාගල දිස්ත්‍රික්කෙට බෙදුවා. එතකොට ලිත් බෙදීම, දිනපොත් බෙදීම, පොකට් කැලැන්ඩර් බෙදීම වගේ පොඩි දේවල් ඇරුනම මහ ඒවා සමෘද්ධි බෙදීම, ජනසවිය බෙදීම, චෙක්පත් බෙදීම, සිමෙන්ති බෙදීම, මේ මොනවද මේ හැම දෙයක් තුළම සැඟවෙලා තියෙන්නේ ඡන්ද මනාප. ගංවතුර ආධාරෙටත් සීල් එක ගහලා මන්ත්‍රී බෙදුවනේ. මේවායේ තියෙන්නේ මහජන මුදල්. මගේ අදහස නම් මේ නිලධාරීන් දෙන්න තුන්දෙනෙක්ගේ වැඩ තහනම් කරනවා නෙවෙයි මේ නිලධාරී සංහතියෙම වැඩ තහනම් කරන්න ඕන. ඇත්තටම මගෙත් වැඩ තහනම් කරන්න ඕන. මොකද මමත් බෙදුවා. ඡන්ද කාලේ බෙදපු එක් බෙදිල්ලක් තමයි විශ්‍රාමිකයන්ගේ වැටුප. ඡන්ද කාලෙදි තමයි ඒක බෙදුවේ. ඊට පස්සේ නිලධාරීන්ගේ පඩි වැඩි කළා. රුපියල් 15000/-ක්. ඒකත් බෙදිල්ලක් තමයි. ඡන්ද කාලේ හැමෝම උනන්දු වුණා ඕක කරන්න. ඇත්තටම ඕවා විග්‍රහ කළොත් මේ කිසිම දෙයක් ඵලදායි නෑ. අනික් පැත්තෙන් මේ දේවල් බෙදන්න යොදා ගත්තේ කවුද? රාජ්‍ය නිලධාරීන්. සමහර රාජ්‍ය නිලධාරීන් ඉන්නවා වැඩ බැරි වුණත් කමක් නෑ ඇමැතිවරයාගේ සපෝට් එක අරගෙන තමන්ගේ තනතුර රැකගන්න. මේක එකකට එකක් සම්බන්ධ ක්‍රියාවලියක්. මම පෞද්ගලිකව ඇමැතිවරුන්ට අනන්ත අප්‍රමාණව කියලා තියෙනවා ඔය සමහර බෙදිලි කිසිම ඵලදායිතාවයක් නෑ කියලා.
මම පෙන්වා දීපු දෙයක් තමයි දීම වෙනුවට ගන්න එන සංස්කෘතියක් හැදිය යුතුයි කියන එක. බෙදීමේ සංස්කෘතියක් නෙවෙයි අපි ඇති කළ යුත්තේ, ගැනීමේ සංස්කෘතියක්. දැන් පිටරටවල දුප්පතුන් ඉන්නවා. මොකක්ද ඒ අයට දෙන පණිවිඩේ. දුප්පත් නම් ගිහිල්ලා තර්ක කරලා ණය දෙන තැනින් ණය ගන්න. අපි මේ හදපු දීමේ සංස්කෘතිය තුළ මහජන මුදල් කාබාසිනියා කරන සංවර්ධන සංස්කෘතියක් තමයි තියෙන්නේ. ඒ තුළ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ බෙදන්න. මේක ඇතුළේ තියෙන්නේ එකම කතාවයි. මේ කතාවේ නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන. මේ රටේ සියලුම නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න ඕන. සමහරු කියනවා මං දූෂිතයෝ රකිනවා කියලා. මං දූෂිතයෝ රකින්නේ නෑ. මම කියන්නේ මේ ක්‍රමය වැරදියි කියලා.
දැන් පහුගිය දවස්වල සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ගිහිං බඩු ගොඩගැහුවා. දැන් මේවා බෙදුවේ කවුද? නිලධාරීන්. කවුද ඇට, පැළ බෙදුවේ, කවුද සමෘද්ධිය බෙදුවේ. කවුද පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදුවේ කවුද? පොත් බෙදුවේ කවුද? චෙක්පත බෙදුවේ. මේ ඔක්කොම බෙදන්නේ ඇමැතිවරුනේ. බෙදන්න උදව් කළේ කවුද? රාජ්‍ය නිලධාරීන්. ඒ නිසා මම කියන්නේ මෙන්න මේ බෙදීම සංවර්ධන උපාය මාර්ගයයි වෙනස් කරන්න ඕන
මොකක්ද හරි ක්‍රමවේදය හැටියට ඔබ දකින්නේ?
හරි ක්‍රමවේදය තමයි ගැනීමේ ක්‍රමවේදය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩිමාන්ඩ් කියලා. මං බටහිර රටවල්වල ජීවත්වෙලා තියෙනවා. ඒවායේ දුප්පත් අය ඉන්නවා. ඔවුන් පොලඹවා තියෙන්නේ අවශ්‍යතාවය අනුව තර්ක කරලා සොයා යන්න. එතකොට වියදම් කරන මුදලේ ඵලදායිතාවක් තියෙනවා. අපේ රටේ ඵලදායිතාවක් නෑ. ඒක තමයි මේ ණය ගොඩ. ඒක තමයි මේ අර්බුදය. ඒක තමයි රාජ්‍ය සේවය ඇතුළේ තියෙන අර්බුදය. ඒක තමයි දේශපාලනය ඇතුළේ තියෙන අර්බුදය. ඒකතමයි නූගත්කම. පසුගාමී බව, ඒකතමයි රටේ දුප්පත්කම. මොකද ලංකාවේ විවේචනාත්මක චින්තනයක් නෑ. විද්‍යාත්මක චින්තනයක් නෑ මේ සංවර්ධන උපායමාර්ග සඳහා.
අපි සමාජය ඇතුළේ ඉල්ලුමක් ඇති කරන්න ඕන. අන්න ඒ ඉල්ලුමට තමයි සැපයුම දෙන්න ඕන. එතකොටයි වියදමේ ඵලදායිතාවක් ඇතිවෙන්නේ. දැන් අපේ ණයවලින් 80ක් ම තියෙන්නේ බෙදන්න ගනිපුවා. සෑම රජයක්ම ඒකෙන් මිදිලා නෑ. ඒනිසා මට කියන්න තියෙන්නේ මේ යහපාලනය ගොඩනගන්න ආපු දූෂණ විරෝධී පෙරමුණුවල්වලට මෙන්න මේ දේ විග්‍රහ කරගන්න කියලා. මෙන්න මේ ට්‍රැක් එක චේන්ජ් කරන්න තමයි ජනතාව දැනුවත් කරන්න ඕන. මේ ට්‍රැක් එක මාරු කරන්න කිසිම ආණ්ඩුවක් උත්සාහ කරන්නේ නෑ.
මේ රටේ මිනිස්සු යහපාලනය ගොඩනැගුවේ ප්‍රතිපත්තිමය වශයෙන් රට දියුණු තැනකට ගෙනියන්න. මේ යහපාලන ආණ්ඩුව යටතේත් එවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ කියලාද ඔබ කියන්නේ?
නෑ මට එහෙම පේන්නේ නෑ. වඩා හොඳ ක්‍රමවේදය මොකක්ද කියලා බුද්ධිමය සංවාදයක් ගොඩනැගෙන්න ඕන. යහපාලනය ගොඩනැගෙන්නේ යහපාලනය ඇතිවන ක්‍රමවේද ඇති කළොත් විතරයි. නමුත් අද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ජනප්‍රිය ක්‍රමය. මොකක්ද ජනප්‍රිය ක්‍රමය මන්ත්‍රීවරයාගේ ලැයිස්තුවට සැලසුම් හැදීම. අපි බලය විමධ්‍යගත කරන්න ප්‍රාදේශීය සභා, පළාත් සභා ඇති කළා. නමුත් වෙනසක් ඇතිවුණාද නෑ. සැබෑ දේ ඇතිවෙන්න නම් මොඩ්ල් එක වෙනස් කරන්න ඕන. නිදහසෙන් පස්සේ අපේ රටේ ක්‍රියාත්මක වන හුඟක් මොඩ්ල් ඇත්තටම අවුට්ඩේටඩ් මොඩ්ල්. මේ ආණ්ඩුව ගෙනියන්නෙත් ඒවම නම් ඒ තුළයහපාලනය ඇති කරන්න බෑ. යහපාලනය කියන්නේ මොකක්ද? යහපාලනය කියන්නේ ඇත්තටම ප්‍රමුඛතා හඳුනාගැනීම. ඒක මේ මාධ්‍ය සංදර්ශනවලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අරූ හොරා මූ හොරා කියලා ඉන්ටර්ඩික් කළ හැටියේ යහපාලනය ගොඩනැගෙන්නේ නෑ.