Friday, September 20, 2024

General line - 0115112241

‘ඇමතිවරයා දරුවන් නොමග යවනවා’




නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හැසිරීමෙන් පාසල් සිසුන් නොමග යා හැකි බව අධ්‍යාපන නිලධාරීන් පවසනවා.

මතුගම අධ්‍යාපන කලාපයේ පාසල් පරිපාලන අධ්‍යක්ෂ ලලනි විජේසේකර මහත්මිය සඳහන් කළේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණය සිදු කරන ස්ථානයකට පාසල් දරුවන් ගෙනවිත් නියෝජ්‍ය ඇමතිවරයා දරුවන් වැරදි මාර්ගයක යැවීමට උත්සහ කරන බවයි.

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපවාසය නිසා සිය රාජකාරීවලට ද අයථා බලපෑමක් සිදුවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. චක්‍රලේඛ අනුව කටයුතු කරන්නට ඉඩ නොදී බලපෑම් සිදු කරන බවත් පාසල් පරිපාලන අධ්‍යක්ෂ ලලනි විජේසේකර මහත්මිය සඳහන් කළා. අධ්‍යාපන කලාප කාර්යාලයේ මුරකරුට පහරදී ඉබි යතුරු පවා නියෝජ්‍ය ඇමතිවරයා විසින් ලබා ගෙන ඇති බවත් පැවසුවා.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරන්නැයි බලකරන සිසුන් පිරිස එම විද්‍යාලයට ඇතුළත් කරගැනීමට චක‍්‍රලේඛ අනුව හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා මහතා පවසනවා. ඔවුන් ඇතුළත් කළ හැකි වෙනත් පාසල් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරන්නැයි බලකෙරෙන සිසුන්ගේ මව්පියන්ට ද බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පණිවුඩයක් ලබාදුන්නා. ඒ, එම සිසුන් තවදුරටත් පාසල් නොයවා සිටීම සම්බන්ධයෙන් මව්පියන් අත්අඩංගුවට ගැනීමට ද හැකියාව තිබෙන බව පවසමින්.