Monday, September 23, 2024

General line - 0115112241

අගමැතිගේ සංචාරය ඓතිහාසික වෙයි




යහපාලනය, සංහිදියාව, සමාජ සාධාරණය පදනම් කරගනිමින් ඉදිරියට යෑමේ නව සංවර්ධන සැලසුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙත සහය දැක්වීමට තමන් සූදානම්ව සිටින බව යුරෝපීය විදේශ ක්‍රියාන්විත සේවාවේ ප්‍රමුඛ නියෝජිත සහ යුරෝපීය කොමිසමෙහි උප සභාපතිනි ෆෙඩෙරිකා මොගෙරිනි (Federica Mohgerini) පැවසුවා.

ජී.එස්.පී ප්ලස් සහනය නැවත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම් පත සතුටින් පිළිගත් බව ද, දැනට ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික කාර්යයන් සිදු කෙරෙමින් පවතින බව ද පැවසූ මොගෙරෙනි, ශ්‍රී ලංකාව දැන් අවතීරණ වී ඇති යහපත් ගමන් මග නිසා තමන් ඊට පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ද අවධාරණය කළා.

ජනවාරි 08 වන දා ශ්‍රී ලංකාවේ සිදුවූ විප්ලවීය වෙනසින් පසු, ජනාධිපති සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියාව ශක්තිමත් කරලීම උදෙසා දක්වන කැපවීම නිසා ජී.එස්.පී ප්ලස් සහනය පිළිබඳව යහපත් බලාපොරාත්තු තැබිය හැකි බව ද උප සභාපතිනිය වැඩිදුරටත් පැවසුවා.

අද (18) පෙරවරුවේ යුරෝපීය විදේශ ක්‍රියාන්විත සේවා මූලස්ථානයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් ෆෙඩෙරිකා මොගෙරිනි සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ නායකයෙකු බ්‍රසලස් නුවරට පැමිණියේ වසර 15 කට පසුව බවයි.

එසේම ශ්‍රී ලංකා රජයේ නායකයෙකු යුරෝපීය කවුන්සලය, යුරෝපීය කොමිසම සහ යුරෝපීය පාර්ලිමේන්තුව යන ආයතන තුන සමගම සාකච්ඡා කරන මුල්ම ඓතිහාසික අවස්ථාව මෙය බව ද ඇය අවධාරණය කළා.

මෙම සාකච්ඡාවේදී ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සිදු කිරීමට අපේක්‍ෂිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය, මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සහ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධව මෙන්ම කලාපීය සාමය ආරක්‍ෂා කරලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධව ද අග්‍රාමාත්‍යවරයා සහ සාගල රත්නායක අමාත්‍යවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා.

ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කරලීමේ අරමුණින් දැනට සම්මත කර ඇති 19 වන සංශෝධනය, තොරුතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත, පාර්ලිමේන්තු අධීක්‍ෂණ කමිටු සම්බන්ධව ද, තිස් වසරක යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව යළි සුවපත් කරලීමේ වැඩ සැලසුම් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා කරුණු පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන පිරිස මෙම අවස්ථාවට එක් වුණා.

img_5416 img_9125 img_9133 img_9147