Saturday, September 21, 2024

General line - 0115112241

දඩය 2500 යෝජනාවේ අර්ථ කථකය වැරදියි – මුදල් ඇමති කියයි




මුලින් සැලසුම් කෙරුණු වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීම නිසා සියලු බස් රථ අද (15) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව බස් හිමියන් පවසනවා.

වැඩවර්ජනය මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේ මුදල් අමාත්‍ය රවි කරුණානායක සමග ඊයේ (14) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසුව බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

රථවාහන වැරදි සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට විරෝධය පළ කිරීම සඳහා බස් හිමියන් මෙම වැඩවර්ජනය සැලසුම් කර තිබුණා. එහෙත් අවම දඩය රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමක් ලෙස අදාළ යෝජනාව අර්ථ දැක්වීම නිවැරදි නොවන බවයි මුදල් අමාත්‍යවරයා ඊයේ පැවති සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර තිබෙන්නේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ “මුදල් ඇමතිතුමා කිව්වා 2500 කියන කාරණය ආර්ථ කථනය කරලා තියෙනවා වැරදියි කියලා.. වැඩි වෙන්නෙ නැහැයි කියලා කිව්වා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවන්න.” යනුවෙනි.

මෙම සාකච්ඡා සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ද එක්ව සිටියා. ඔහුන්ද පැවසුවේ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි.

සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය ද මේ සඳහා එක්ව සිටි තවත් පාර්ශ්වයක්. එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ ඇතැම් රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට තමන් එකඟ වන බවයි. එහෙත් සුළු රථ වාහන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමක් සිදු නොකරන්නැයි තමන්ද මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු පැවසුවා.

ඒ අනුව බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය, අධික වේගයෙන් ධාවනය ආදී කරුණු සම්බන්ධයෙන් දඩ මුදල් දෙගුණ කිරීමටක පවා ඔවුන් එකඟතාව පළ කළා.

කෙසේවෙතත් ඉස්සර කිරීම්, හැරවීම්, නවතා තැබීම් ආදී වැරදි සඳහා පවතින දඩ මුදල් තිබෙන තත්ත්වයෙන්ම පවත්වාගෙන යෑමට යෝජනා කළ බවත් සඳහන් කළා.

බීමත්ව රිය පැදවීම සහ රියදුරු බලපත‍්‍රය නොමැතිව ධාවනය කිරීම වැනි වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට විරුද්ධත්වයක් නොමැති බව බස් හිමියන් ද ප‍්‍රකාශ කළා.