Friday, September 20, 2024

General line - 0115112241

මඩකලපුව බෞද්ධ විහාරස්ථානයක් කුඹුරු බිමක් කරලා




මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඇති පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන රැසකට අන්තවාදීන්ගෙන් විවිධ බලපෑම් එල්ල වන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ මඩකලපුව චෙන්කලඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෞරාණික වටිනාකමකින් යුත් බෞද්ධ විහාරස්ථානයක් අන්තවාදී පිරිස් විසින් විනාශ කර ඇති බවයි.

කරදියනාරු නගරයේ සිට කිලෝමීටර් 3ක් පමණ ඉදිරියෙන් පිිහිටි මෙම පෞරාණික විහාරස්ථානයට අයත් භූමිය අන්තවාදී කණ්ඩායම් විසින් අත්පත් කරගෙන සිටිනවා.

ඔවුන් එම ඉඩම්වල කෘෂිකාර්මික කටයුතු සිදුකරන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී හෙළි වුණේ. ඒ සම්බන්ධයෙන් මඩකලපුව ශ‍්‍රී මංගලාරාමවාසී පූජ්‍ය අම්පිටියේ සුමන හිමියන් ද මෙලෙස අදහස් දැක්වූවා.

“අපේ පුරාණ රජමහා විහාරයක් මේ වනකොට සම්පූර්ණයෙන්ම කුඹුරු බිමක් බවට පත්කරලා වී වපුරලා තියෙනවා. ඒ වගේම තමයි එම සිද්ධස්ථානයේ තිබුණු සියළුම පෞරාණික සිරිපතුල් ඒ වගේම පහන් කණු , ගල් කණු විශාල ප්‍රමාණයක් එකතැනට ගොඩගහලා තමයි මේ කුඹුර සකස්කරලා තියෙන්නේ. බෝධීන් වහන්සේගේ පා මුලට වෙනකම්ම වී වපුරලා තියෙනවා. අපි අපේ බෞද්ධ , සිංහල ජනතාවගේ ගැටළු විසඳන්න මැදිහත්වෙනකොට මරණවමයි කියන තර්ජන එනවා. මේ විදිහට සම්පූර්නම මේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින් වගා බිම් , කුඹුරු බිම් බවට පත්කරගැනීම වළක්වගන්න අපි විශාල හඬක් නගනවා. ඒවට ඇහුම්කම් දෙන්නේ නැහැ අපේ රටේ පාලකයෝ. රජමහා විහාර මේ විදිහට විනාශ කරන එක අපි ප්‍රශ්ණ කරත් අපිට පිළිතුරු දෙන්නේ නැහැ”.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් මඩකලපුව දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් කරුණු විමසීමට උත්සහ කළ ද ඔහු දුරකථනයට ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.