Friday, September 20, 2024

General line - 0115112241

පාසල ඉදිරියේ සිසුවාට පහරදුන් 04 ක් අල්ලයි (UPDATE)




මහනුවර නගරයේ ප‍්‍රසිද්ධ පාසලක සිසුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මහනුවර පොලිසියේ නිලධාරීන් විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19,20 සහ 21 යන වයස් කාණ්ඩවල පසුවන පිරිසක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සිසුවාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබුණා.

ඒ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට නෙත් නිවුස් කටයුතු කළා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන්නා. සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ ඒ අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යටතේ සිදු කෙරෙනවා.


ජනප්‍රිය පාසලක් ඉදිරිපිටදී සිසුවාට පහරදුන් පිරිස හඳුනගන්න සහාය දෙන්න (VIDEO)

(Nov 22, 2016 @ 17:25)

පාසලක් ඉදිරිපිටදී සිසුවෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල අතර මේ වන විට වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

මහනුවර ප්‍රදේශයේ පිහිටා තිබෙන ජනප්‍රිය පාසලක් ඉදිරිපිටදී මෙම සිදුවීම ඇති වී තිබෙන බවටයි මේ වන විට වාර්තා වී ඇත්තේ. ඊයේ (21) දිනයේදී මෙම සිදුවීම ඇති වී තිබෙන බවටත් තොරතුරු වාර්තා වී තිබෙනවා.

එම අවස්ථාවේ පාසල ඉදිරිපිට විශාල පිරිසක් රැස්වී සිටියදී මෙලෙස පිරිසක් පාසල් සිසුවෙකුට පහරදීම අදාළ වීඩියෝවේ පැහැදිළිව දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් අද (22) දහවල් වනතෙක් තමන් වෙත නොලැබුණු බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව අදාළ වීඩියෝව සහ හෙළි කරගත් තොරතුරු නෙත් නිවුස් පොලිසියට ලබාදුන්නා.

පසුව කළ විමසුමක දී පොලිසිය පැවසුවේ අපරාධ, රථවාහන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වෙත මෙම තොරතුරු වාර්තා කළ බවයි. ඒ අනුව අදාළ විමර්ශන සිදු වන බව ද පොලිසිය පැවසුවා.

මෙම පහරදීම සිදුකරන පුද්ගලයින් පිළිබඳව හඳුනාගැනීම සඳහා පොලිසියට සහාය දැක්වීමට ජනතාවටද හැකියාවක් පවතිනවා. ඒ හේතුවෙන් ඔබ මෙම පහරදීම සිදුකරන පුද්ගලයින් පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දීමෙන් සහාය දක්වන්න.

(එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින් බලන්න.)