Friday, September 20, 2024

General line - 0115112241

25000 දඩය… ඉදිරිය අපැහැදිලියි




අයවැයෙන් යෝජනා කළ පරිදි මාර්ග වැරදි සඳහා දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අපහැදිලි තත්වයක් පවතිනවා. නීතිඥ යූ. ආර්. ද සිල්වා පවසන්නේ නව දඩ මුදල් සහ ඒවා නියම කෙරෙන වැරදි සම්බන්ධයෙන් මෙන්ම එම දඩ මුදල් අයකර ගන්නා ක‍්‍රමය පිළිබඳව ද පාලකයින් දෙවරක් සිතිය යුතු බවයි.

දඩ ගෙවීමේ දී ඇතිවිය හැකි අපහසුතා වළක්වාලීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දඩ ගෙවිය හැකි ක‍්‍රමයක් ඇතැම් රටවල ක‍්‍රියාත්මක වන බව ද මෙහි දී සිහිපත් කෙරුණා. ජංගම දුරකතනයෙන් දඩ ගෙවීමට ශ‍්‍රී ලංකාවේ ද පහසුකම් සපයන බව මීට පෙර ප‍්‍රකාශ වුවත් ප‍්‍රායෝගිකව තවමත් එය සාර්ථකව ක‍්‍රියාත්මක නොවන බවයි නීතිඥ යූ. ආර්. ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ.

මාර්ග වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් අසාමාන්‍ය ලෙස වැඩි කිරීමෙන් පොලිස් නිලධාරීන් අක‍්‍රමිකතා සිදු කිරීමට ඇති ඉඩකඩ ද වැඩි වන බව මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

මාර්ග වරදක් සම්බන්ධයෙන් නියම කෙරෙන දඩයක් කිසියම් තැනැත්තෙකු විසින් ගෙවීම පැහැර හැරියහොත් ඇතිවිය හැකි තත්වය පිළිබඳව ද නීතිඥ යූ. ආර්. ද සිල්වා පැහැදිලි කිරීමක් කළා. ඔහු පෙන්වා දුන්නේ සිර දඬුවමකට ලක්වීම ද එවැනි අවස්ථාවක සිදුවිය හැකි බවයි.

මේ වනවිට ප‍්‍රකාශ වී තිබෙන්නේ වැරදි හතක් සඳහා දඩ මුදල රුපියල් විසිපන් දහසක් දක්වා වැඩි කරන බවටයි. බීමත්ව රිය පැදවීම, වලංගු රියදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය ධාවනය, වලංගු රියදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය පැදවීමට පුද්ගලයෙකුට ඉඩ සැලසීම එම වැරදි කිහිපයක්. අධික වේගයෙන් රිය ධාවනය, වම්පසින් ඉස්සර කිරීම, දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝණය කිරීම සහ රක්ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය යන වැරදි සඳහා ද දඩය රුපියල් විසිපන් දහසක් දක්වා වැඩි කෙරෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳ සාකච්ඡා කෙරෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාධ්‍යවේදීන් කළ විමසීමක දී ඊයේ කියා සිටියේ.