Thursday, September 19, 2024

General line - 0115112241

පීඩාකාරී ලෙස ධාවනය කරන ප‍්‍රභූ වාහන ගැන සතිපතා වාර්තාවක්




මාර්ග නීති කඩ කරමින් මහජනතාවට පීඩාකාරී ලෙස ධාවනය කරන ප‍්‍රභූ වාහන සම්බන්ධයෙන් සතිපතා වාර්තාවක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

තමන් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බවයි කොළඹ නිදහස් චතුරස‍්‍රයේ අද  පැවති උත්සවයකදී ජනාධිපතිවරයා කියා සිටියේ.

ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහනට සමගාමීව මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

පරිවාර රථ සමග ධාවනය කරන වාහනවල සැබවින්ම ගමන් කරන්නේ කවුදැයි කිසිවෙකු නොදන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ප්‍රධාන ලාම්පු දල්වාගෙන ගමන් කරන ප්‍රභූ වාහන පරීක්ෂාවට ලක් කරන ලෙස පොලීසියට උපදෙස් දී ඇති බවද එහිදී ප්‍රකාශ වුණා.

දැන් ප්‍රභාකරන් කෙනෙකු හෝ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් රටේ නොමැති බැවින් රථ වාහන හත අටක් පිරිවරාගෙන ගමන් යාමේ අවශ්‍යතාවක් නොමැති බව තමන් පසුගිය කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන් බව ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළා.