Tuesday, December 24, 2024

General line - 0115112241

මල් පොහොට්ටුවට එන එජාප ප්‍රබලයා කවුද?




ඒකාබද්ධ විපක්ෂය විසින් ගොඩනගන මල් පොහොට්ටුවෙන් එන නව දේශපාලන පක්ෂයට හැකිනම් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයෙකු සම්බන්ධ කරගෙන පෙන්වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මාතර දිස්ත‍්‍රික් සංවිධායක නලින් රණවීර අභියෝග කරනවා.

මල් පොහොට්ටුව උත්සහා කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයම දෙකඩ කොට වෙනම දේශපාලන බලවේගයක් බිහි කිරීමට බවයි ඔහු චෝදනා කරන්නේ.

මල් පොහොට්ටුව සමග කටයුතු කරන්නේ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් වීම කණගාටුවට කරුණක් බවයි නලින් රණවීර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත‍්‍රික් සංවිධායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

“මේ පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැහැ. මේ හදන්නේ ශ්‍රී ලංකා පක්ෂයේ පාක්ෂිකයා කඩලා , පාක්ෂිකයාගේ ශ්‍රී ලංකා පක්ෂය කෙරෙහි තියෙන විශ්වාසය නැති කිරීම පමණයි. ඒක වෙන්නෙ නැහැ. මේ පක්ෂය පහුගිය කාලේ අර පිල්වලට කැඩිලා ගිහිල්ලා හදාගත්ත පක්ෂ වගේම මේ පක්ෂයත් දියවෙලා යනවා. මම අභියෝග කරනවා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පුළුවන්නම් ඔය හදන පොහොට්ටු පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් අරගෙන පෙන්නන්න”.

එම අභියෝගය පිළිබඳ නෙත් නිවුස් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරාගෙන් විමසීමක් කළා. එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ

“මේ වෙනකොට ශ්‍රී ලංකාව පුරා සාමාජිකයින් බඳවා ගැනීම් කටයුතු සංවිධානය කරමින් තියෙනවා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත්, සාමාජිකත්වය දරපු ගම් මට්ටමේ ශාඛා සංවිධානවල අයත් , ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට ඡන්දය පාවිච්චි කරන ලද අයත් මේ වෙනකොට අපේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා.

ඒ වගේම පාර්ලිමෙන්තුව තුළ අපි අපේක්ෂා කරනවා අපිත් සමග එකඟතාවයන් ඇතිකරගෙන තිබෙන රජය නියෝජනය කරන මන්ත්‍රීවරු සම්බන්ධවත් ඉදිරියේදී මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් කමක් ලැබෙයි”.