Thursday, September 19, 2024

General line - 0115112241

හම්බන්තොට වරායේ වැඩි පංගුව චීනයට පවරන ගිවිසුම ගැන අර්ජුන නොසතුටින්




හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමේ ගිවිසුම සම්බන්ධයෙන් තමන් හරිහැටි කරුණු නොදන්නා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

කෙසේ වෙතත් එම වරායේ සේවය සඳහා බඳවාගෙන ඇති පිරිසගේ රැකියා සුරක්ෂිත කිරීමට තමන් කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

තමන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත හම්බන්තොට වරායේ සේවක පිරිසක් හමුවීමට අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ එම වරාය පරිශ‍්‍රයට පැමිණියා. එහි දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“තාම මමත් දන්නෙ නැහැ ඇතිවෙලා තියෙන තත්ත්වය මොකක්ද කියලා. මම දැක්කෙත් මාධ්‍ය හරහා. ඒගොල්ලො කිසිම දැනුම්දීමක් කරලා නැහැ. නමුත් මම ජනාධිපතිතුමත් එක්ක මේ ගැන සාකච්ඡා කරා ඒ වගේම මට අමරවීර ඇමතිතුමත් කිවුවා ප්‍රශ්ණයක් තියෙනවා කියලා. අයවැය තිබුනත් මම ආවේ මේ දරුවන්ගේ රැකියාවල් ගැන එයාලට කුතුහලයක් තියෙන්න පුළුවන්. මොකද චීන සමාගමක් එක්ක ගිවිසුමක් ඇතිකරගන්න රජය තීරණය කරලා තියෙනවා. මගේ වගකීමක් තියෙනවා අමාත්‍යවරයා හැටියට කිසිම දරුවෙකුට ඒ රැකියාවල් අහිමිවෙනවනම් මම මේ ඇමතිකමේ ඉන්න එක තේරුමක් නැහැ. ඒක හින්දා ඒ රැකියාවල් සුරක්ෂිත කරලා අපි චීන සමාගමත් එක්ක ගිවිසුම් අත්සන් කරන වෙලේ ප්‍රධානම දේ වෙන්නේ මේ දරුවන්ගේ රැකියාවල් සුරක්ෂිත කරන එක . ඒ වගකීම මම භාරගන්නවා”.

හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගමට පැවරීමේ මූලික ගිවිසුමට අත්සන් තැබීම ඊයේ දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ බවට වාර්තා පල වුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ රටට ඉතා අවාසිදායක ලෙස මෙම වරාය අදාළ සමාගමට පැවරීමට නියමිතව ඇති බවයි. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1691 කට ආසන්න මුදලක් වැය කෙරුණා.

එහෙත් එම වරායේ සියයට අසූවක කොටසක් චීනයට පවරන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1080 කට බවයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා චෝදනා කළේ.

හම්බන්තොට වරායේ සියයට අසූවක් චීනයට පැවරීමට තමන් එකඟ නොවන බවයි අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඊයේ (08) පස්වරුවේ හම්බන්තොට වරායේ දී මාධ්‍ය හමුවේ සඳහන් කළේ. අදාළ ගිවිසුම වෙනස් කර ගැනීමට තමන් තවදුරටත් උත්සහ දරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.