Friday, September 20, 2024

General line - 0115112241

සා/පෙළ කළ සිසුන් විමසිලිමත් වෙන්න




මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ලබන ජනවාරී මස 03 වන දා ආරම්භ කෙරෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්ප කුමාර පැවසුවේ අදියර 03 ක් යටතේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

ජනවාරී මස 03 වනදා ආරම්භ කරන පළමු අදියර 12 වනදායින් අවසන් කෙරෙනු ඇති.

2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 06 වනදා ආරම්භ වූ අතර එය ඊයේ (17) දිනයෙන් අවසන් වුණා. මෙවර විභාගයට පෙනී සිටි මුළු අපේක්ෂකයින් ගණන හත්ලක්ෂයක් පමණ වූ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙරට ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් විභාගයට පෙනී සිටි අවස්ථාව ද මෙය වනවා. කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්ප කුමාර සඳහන් කළා.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට ගතවන කාලය තම ජීවිතයේ ඉදිරි ඉලක්ක සැලසුම් කිරීම සඳහා යොදා ගැනීමට සිසුන් වගබලා ගත යුතු බව විද්වතුන් පවසනවා.

මානව හැකියා පුහුණු විශේෂඥ සනත් ගමගේ පෙන්වා දෙන්නේ අතිරේක සුදුසුකම් වර්ධනය කර ගැනීමට මෙම කාල සීමාව ඵලදායි ලෙස යොදා ගැනීම වඩා වැදගත් වන බවයි.

තෝරාගැනීම් සිදු කිරීමේ දී සිසුන් වඩාත් විමසිලිමත් විය යුතු බව ද මෙහි දී අවධාරණය කෙරුණා.