Tuesday, September 17, 2024

General line - 0115112241

රෝහල් රැසක අක්ෂි කාච බද්ධකිරීම් නවතී




ජාතික අක්‍ෂි රෝහලේ සහ දිවයිනේ ප‍්‍රධාන රෝහල් කිහිපයක අක්‍ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් නතර වී ඇතැයි වාර්තා වනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ පෙරේදා (16) සිට මෙම සැත්කම් මෙලෙස නතර වී ඇති බවයි. ශල්‍ය කර්ම සදහා අවශ්‍ය අක්‍ෂි කාච රජය මගින් ලබාදෙන බවට චක‍්‍රලේඛයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත්දා ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් මේ දක්වා එම චක‍්‍රලේඛය රෝහල් වෙත ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

රජයෙන් ලබාදෙන අක්‍ෂි කාච හැර පෞද්ගලික ඔසුසැල්වලින් මිළදි ගන්නා අක්‍ෂි කාච රෝගීන්ට බද්ධ කරන වෛද්‍යවරුන්ට සහ රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණා. පවතින තත්ත්වය යටතේ අක්‍ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් නතර කිරීමටයි අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් තීරණය කර තිබෙන්නේ.

කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ දිනකට අක්‍ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් 230 ක් පමණ සිදු කෙරෙනවා. එහෙත් පසුගිය දින කිහිපයේදී සැත්කම් දහයක් පමණ සිදු කෙරුණු බවයි රෝහල් ආරංචිමාර්ග සදහන් කළේ. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ ජාතික අක්‍ෂි රෝහලට සහ අනෙකුත් රෝහල්වලට අවශ්‍ය අක්‍ෂි කාච හිගයකින් තොරව ලබාදීමට මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.