Thursday, September 19, 2024

General line - 0115112241

රංජන්ට එරෙහිව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක නිලධාරීහු වීථි බසිති




නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදුණු බව කියන සිද්ධියට එරෙහිව ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් අද (30) විරෝධතාවක නිරත වුණා.

ඊට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක නිලධාරීන් එක් වූ බවයි ගම්පහ දිස්ත‍්‍රික් පරිපාලන සේවා සංගමය පැවසුවේ.

මිනුවන්ගොඩ,දිවුලපිටිය,ගම්පහ යන ප‍්‍රධාන නගර කිහිපයකම විරෝධතා පැවති බව නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළා.

ගම්පහ නගරයේ පැවති විරෝධතාවයට එක්ව සිටි ගම්පහ දිස්ත‍්‍රික් පරිපාලන සේවා සංගමයේ ලේකම් ලක්ශ‍්‍රිණී ගුණතිලක පැවසුවේ රාජ්‍ය සේවයේ ගරුත්වය ආරක්ෂා කරදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

අද (30) පැවති විරෝධතාව හේතුවෙන් කුරුණෑගල – මිනුවන්ගොඩ මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

දිවුලපිටිය අකරගම ප‍්‍රදේශයේ සිදුවන පස් කැපීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත එය නිරීක්ෂණයට ගිය නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සහ දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරිය අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව මෙම විරෝධතාවට හේතුවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ක‍්‍රියාත්මක කරන බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ගම්පහ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ.