Friday, September 20, 2024

General line - 0115112241

FCID ස්ථානාධිපති – නීතිපති උසාවි කැඳවයි




පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට පෙබරවාරී 13 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය අද (06) නොතීසි නිකුත් කළා.

එ්, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට ඇප ඉල්ලා ගොනුකර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

අදාළ පෙත්සම මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ඒ. කළුආරචිචි හමුවේ අද සලකා බැලුණා. එහිදී මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40 ක් අවභාවිත කොට රජයට රුපියල් කෝටි නවයක් පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයක් අනුවයි. එම නියෝගය ප‍්‍රතිශෝධනය කරන ලෙයසි මන්ත‍්‍රී විමල් වීරවංශ කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

පොදු දේපල පනත යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද, විමල් වීරවංශ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත්තේ සහතිකයක් නොව වාර්තාවක් බවද මෙහිදී ඔහුගේ නීතිඥවරුන් මහාධිකරණයට කරුණු දක්වා තිබුණා.