Friday, September 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයට කොන්දේසි විරහිතව එන්නලු




ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර අත්හැරිය ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම අවස්ථාවේ දී කළ යුත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට සියලු දෙනා එක්වීම බවයි.

අමාත්‍යවරයා එම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට ඊයේ (04) එක්වෙමින් කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යළි එක්සත් වීමට නම් ජාතික ආණ්ඩුව සමග එක්ව සිටින සියලු දෙනා අමාත්‍ය ධුර අත්හල යුතු බවයි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්නගෙන් විමසීමක් කළා. එහිදී ඔහු ඉහත අදහස් පළ කළා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡාවක් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වන්නේ නම් ඊට කොන්දේසි විරහිතව සහභාගී විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.