Thursday, September 19, 2024

General line - 0115112241

සීනි සහ කුකුල් මස් පාලන මිල ඉවත් කෙරේ




සුදු සීනි සහ කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. 

ඒ අනුව සුදු සීනි සහ බ්‍රොයිලර් කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් පවසන්නේ. 

ජීවන වියදම් කමිටුවේ දී සුදු සීනි හා කුකුළු මස් සඳහා ඇති පාරිභෝගික අවශ්‍යතාව, ආනයනික මිල සහ වෙළෙඳ පොළ මිල සළකා බැලීමෙන් පසු මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. 

ඒ අනුව මෙතෙක් සුදු සීනි සඳහා පනවා තිබූ රුපියල් 93.00 ක පාලන මිල ඉවත්කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා. දුඹුරු සීනි සඳහා පාලන මිලක් පනවා තිබුණේ නැහැ.

සම සහිත කුකුළු මස් කිලෝවක් සඳහා පනවා තිබූ පාලන මිල රුපියල් 410.00ක් වූ අතර සම රහිත කුකුළු මස් කිලෝවක් සඳහා පනවා තිබූ පාලන මිල රුපියල් 490.00ක්. එම පාලන මිල ගණන් ද ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.  

පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න කියා සිටියේ පසුගිය දා ජීවන වියදම් කමිටුවේ දී සුදු සීනි සහ කුකුළු මස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට ඉල්ලීමක් තිබූ බවයි. ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පාරිභෝගික සභාවට දැනුම් දීමෙන් අනතුරුව ලැබුණු නිර්දේශ අනුව මෙලෙස පාලන මිල ඉවත්කිරීමට කටයුතු කරන බව ද පාරිභෝගික අධිකාරියේ සභාපති  වැඩිදුරටත් කියා සිටියා.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඉදිරියේ එළැඹෙන උත්සව සමයේ දී සීනි සහ කුකුළු මස් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවයි. වෙළෙඳ පොළෙහි අවශ්‍ය තරම් සීනි තොග තිබෙන බවත් අවශ්‍ය පමණ කුකුළු මස් වෙළෙඳ පොළට සැපයීමට හැකියාව ඇති බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.