Thursday, December 26, 2024

General line - 0115112241

රජය මහ නාහිමියන්ගෙන් සමාව ගනී !




ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමියන්ගෙන් සහ සංඝ සභාවෙන් ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැති ගයන්ත කරුණාතිලක අද (14 ද) සමාව ලබා ගත්තා.


මෙම සමාව ගැනීමට හේතුවී ඇත්තේ ඉංග්‍රීසින් විසින් දේශද්‍රෝහීන්  ලෙස නම්කළ විරුවන් 81 දෙනකු ජාතික විරුවන් ලෙස නම් කරමින් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී ජනාධිපති ආරක්‌ෂක අංශ විසින් උන්වහන්සේට කළැයි කියන අගෞරවයක්‌ සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

මෙම ජාතික උත්සවය සඳහා සහභාගි වන ලෙස ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා විසින් මහ නාහිමියන් වෙත ආරාධනා කර තිබූ අතර නියමිත වේලාවට උන්වහන්සේ ඊට එක්‌වී ඇතත් ජනාධිපති ආරක්‌ෂක අංශය විසින් උන්වහන්සේට උත්සවයට එක්‌වීමේ අවස්‌ථාව වළක්‌වා තිබෙනවා.


මීරිගම පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහ පිරිවෙනේ අද පැවති එම නිකායේ කාරක පාලක සංඝ සභාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ මහනුවර පැවති උත්සවයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමි නාපාන පේමසිරි හිමියන්ට ආරක්ෂක අංශ වෙතින් සිදුවූ බව කියන අගෞරවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සමාව ගන්නා බවයි. 

අමාත්‍යවරයා සමාව ගැනීම අගය කරන බව  මහනාහිමියෝ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.