රජය සතු ව්‍යාපාර කිහිපයක් සාමුහික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම අද (15) මුදල් අමාත්‍යංශයේදී සිදු කෙරුණා.
ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යන රජය සතු ව්‍යාපාර මෙම ගිවිසුම සඳහා අත්සන් තැබුවා.
එහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ ජනතාවගේ බදු ගෙවීමේ බර අඩු කිරීමේ සැලැස්මක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවයි. මෙය අමාත්‍යාංශ කොටු කිරීමක් නොවන බවද සඳහන් කළා.
මෙම අවබෝධතා ගිවිසුමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, අදාළ ආයතන අයත් රේඛිය අමාත්‍යංශවල ලේකම්වරු සහ එම ආයතනවල සභාපතිවරුන් අත්සන් තැබුවා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ මෙම ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාව මත ගෙන එන ලද්දක් බවට එල්ල වන විවේචන ප‍්‍රතික්ෂේප කරන බවයි.
ගිවිසුමේ අරමුණු පිළිබඳ එහිදී අදහස් දැක්වූ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ මෙම නව ගිවිසුම හරහා රටේ ඉදිරි ගමනට විශාල ශක්තියක් ලැබෙන බවයි.