Tuesday, May 7, 2024

General line - 0115112241

කසල කන්ද ඉවත් කිරීමට සූදානම් වූ මොහොතේ ආණ්ඩුව පෙරළුණු විදිහ ගැන ෆේස්බුක් සටහනක්




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් සිදු වූ ආපදාව පිළිබඳ ආචාර්ය නාලක ගොඩහේවා ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. ඔහු රාජ්‍ය ආයතන කිහිපයකම ඉහළ නිලයන් හෙබවූ අයෙක්. 

මෙම ආපදාව වළක්වාගත හැකිව තිබූ එකක් බවයි අදාළ ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ. මීතොටමුල්ල කසල කන්ද ඉවත් කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ඉකුත් ආණ්ඩුව විසින් සැලසුම් කර තිබූ බවද ඒ සඳහා වියදම් ඇස්තමේන්තුව අමෙරිකානු ඩොලර් මිලියන 107 ක් වූ බවද එහි දැක්වෙනවා.

මීට අදාළව 2014 නොවැම්බර් මස ඉදිරිපත් කෙරුණු අයවැයෙන් මුදල් ද වෙන් කෙරුණු බවයි ආචාර්ය නාලක ගොඩහේවා සඳහන් කර ඇත්තේ. 

කෙසේ වෙතත් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර 2015 ජනවාරී මාසයේ දී ආණ්ඩුව පෙරළුණු බව ද පත් වූ නව ආණ්ඩුව මීතොටමුල්ල කසල කන්ද ඉවත් කිරීමට මේ දක්වා සුදුසු ක‍්‍රියාමාර්ගයක් නොගත් බවද එහි දැක්වෙනවා. 

ඒ අනුව සිදු වූ ආපදාවේ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බවයි ආචාර්ය නාලක ගොඩහේවා අවධාරණය කරන්නේ.  

මේ අතර ප‍්‍රශ්නගත කසල කන්ද මීතොටමුල්ලෙන් ඉවත් කිරීමට මෙන්ම ඒ නිසා පැන නැගී ඇති සෞඛ්‍ය හා වෙනත් සාමාජීය ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට ද ආණ්ඩුව ක‍්‍රියා කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද සිදු වූ ආපදාවට වගකිව යුතු බවයි එහි ප‍්‍රධාන ලේකම් ජෝශොප් ස්ටාර්ලින් කියා සිටියේ. 

අද උදෑසන ප‍්‍රචාරය වන නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් විමසා බැලෙන්නේ ද මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳවයි. මිනිස් ජීවිත බිලි ගැනීමට තරම් මීතොටමුල්ල කසල ගැටළුව වර්ධනය වූයේ කෙසේදැයි එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.