Thursday, December 26, 2024

General line - 0115112241

මාධ්‍යට හෙළි කිරීම වාරණය කළ කුණු කන්දේ වාර්තාව පොලිසියට




පසුගියදා නායයාමට ලක් වූ මීතොටමුල්ල කසල කන්ද පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද පූර්ණ අධ්‍යයන වාර්තාව ශ‍්‍රී ලංකා පොලිසිය වෙත භාරදීම ඊයේ එම විශ්ව විද්‍යාලයේ දී සිදු කෙරුණා. අධිකරණය මගින් ලබාදුන් නියෝගයක් අනුව මෙම වාර්තාව සකස් කරනු ලැබුයේ 14 දෙනෙකුගෙන් සමන්විත විද්වත් මඩුල්ලක් මගින්. 

එම අධ්‍යයනය සිදු කළ මණ්ඩලයේ සම්බන්ධීකාරක ආචාර්ය ජයලත් දිසානායක විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක වෙත පළමුව එම වාර්තාව භාර දෙනු ලැබුවා. ඉන් අනතුරුව උපකුලපතිවරයා විසින් අදාළ වාර්තාව පොලිස් පරිසර ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා වෙත භාරදීම සිදු කෙරුණා. 

අදාළ වාර්තාවේ ඇතුළත් තොරතුරු අධිකරණ නියෝග අනුව මාධ්‍යයට හෙළි කිරීමේ වාරණයක් පවතින බැවින් එහි අන්තර්ගතය පැහැදිලි කළ නොහැකි බවයි එම කමිටුවේ සම්බන්ධීකාරක ආචාර්ය ජයලත් දිසානායක වැඩිදුරටත් සදහන් කළේ. පොලිසිය මගින් මෙම වාර්තාව ලබන සදුදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.