ශ්‍රී ලංකාවේ ආපදාවලින් විපතට පත්වූවන්ට සහන සැලසීමට ඉන්දීය රජය අඛණ්ඩව සූදානම් බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඔහු සඳහන් කළේ ගංවතුර හා නායයාම් හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳ සිය කණගාටුව පළකරන බවයි. ඉන්දියාවේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය රවී කරුණානායක සමග නවදිල්ලි අගනුවර පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
විදේශ අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු සිය පළමු නිල සංචාරය ලෙස අමාත්‍ය රවී කරුණානායක, ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගියා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ඔහු අවධාරණය කලේ දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර විදේශ අමාත්‍යවරයා, ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සමගද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දෙරට අතර ධීවර ගැටළුව විසඳීම ඇතුළු ද්වි පාර්ශවික කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.