Sunday, May 19, 2024

General line - 0115112241

බුද්ධාගමට හිමි තැන අඩු කළොත් එක මොහොතක් ආණ්ඩුවේ ඉන්නේ නැහැ




“අද වෙනකම් ව්‍යවස්ථාවේ කොළයක්වත් එළියට ඇවිත් නෑ. ව්‍යවස්ථාව ගැන කතා කරන අය කොළයක්වත් දැකල තියෙනවද දන්නේ නෑ. හුඟක් විපක්ෂයේ ඉන්න අය කැමැතියි මාධ්‍යකට ගිහිල්ලා ගිනිකූරක් පත්තු කරන්න. එතකොට ඒගොල්ලන්ගේ පින්තූරෙත් යනවා පිටු භාගයක. එහෙමනේ දේශපාලනය කරන්න කැමති අය කරන්නේ. මම කියන්නේ තුට්ටු දෙකේ මේ දේශපානය අපේ රටෙන් ඉවත් විය යුතුයි....” යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවා. එතුමා මේබව කියා සිටියේ යෝජිත ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට හිමිතැන අහිමි කෙරෙන බවට මාධ්‍යවේදියකු නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඒ කළුතර ආසනයෙහි ආපදාවට පත් විහාරස්ථාන වෙත සහන බෙදා දීමේ වැඩසටහන් මාලාවකට එක්වෙමින් සිටින අතුරතුරදීය.

පසුගියදා ආපදාවට පත් කළුතර ආසනයෙහි සහන කටයුතු අධීක්ෂණය කිරීම උදෙසා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත් කෙරුණේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසිනි. ඒ අනුව ක‍්‍රියාත්මක වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස ආපදාවට පත් විහාරස්ථාන වෙත සහන බෙදා දීම අද කළුතරදී සිදු විය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසූවේ බුද්ධාගමට හිමි තැන අඩු කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් මේ ආණ්ඩුවේ මොහොතකට වත් නොසිටින බවයි.

“අපේ රටේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන අඩු කරනවා කියලා අපි කිසිම තැනක සාකච්ඡා කරලා නැහැ. ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් හැටියට මම වගකීමකින් එය කියනවා. එහෙම සාකච්ඡාවක් කරලත් නෑ. සාකච්ඡා කරන්නෙත් නෑ. නමුත් වෙනම කට්ටියක් වෙන වෙන කථා කියමින් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගින්නක් අවුලන්න හදනවා. මම දැක්කා එක තැනක තියෙනවා බුද්ධාගම තුන්වැනි තැනට දාන්න හදනනවා කියලා. මේවා තනිකරම දේශපාලන කථා. සිංහල බෞද්ධයන් ඇවිස්සීමේ උපක‍්‍රමයක්. ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ බුද්ධාගමට හිමි තැන ආරක්ෂා කරන්න. ඒ වගේම බුද්ධාගමට මූලිකත්වය දෙන ගමන් අනෙක් ආගම්වලට සිය අයිතිවාසිකම් ලබා දෙන්න. ඒකේ වරදක් මම දකින්නේ නැහැ.

අද ආණ්ඩුවේ සිටින සියලූම නායකයෝ මේ ව්‍යාවස්ථා සංශෝධනය ගැන සංවේදීව සිටිනවා. මේ ආණ්ඩුවේ ඉන්න මුස්ලිම්, ද්‍රවිඩ නායකයෝ කවදාවත් කියන්නේ නෑ බුද්ධාගමට තියෙන මූලිකත්වය අඩු කරන්න කියලා. ඒක තමයි රටටම අවශ්‍ය වෙන්නේ. මේ රට සුද්දන්ගෙන් බේරා ගන්න කොට සිංහල බෞද්ධ නායකයෝ විතරක් නෙමෙයි සිටියේ. එතත දෙමළ අයත් හිටියා. මුස්ලිම් අයත් හිටියා. කතෝලික අයත් හිටියා. හින්දු අයත් හිටියා. මේ සියලූම ආගමිකයන් එකතුවෙලා අත්වැල බැඳගෙන තමයි ජයග‍්‍රහණය ලබාගත්තේ. මම වගකීමෙන් කියනවා, අපේ රටේ බුද්ධාගමට හිමි තැන පහළට දාන්න හදනවා නම් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ.

අපි ආගම දේශපාලන කරුණුවලට යොදා ගත යුතු නැහැ. මම සිංහල බෞද්ධ කියලා අනිත් අයට ගරහලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමතිකමක් ගන්න එක වැරදියි. මම හින්දු කියලා ගන්න එකත් වැරදියි. ඒක නැති කරන ක‍්‍රමයක් මේ රටේ ඇති විය යුතුයි. මම දන්නවා අපි ඒ තැනට ගිහිල්ලා තියෙනවා. යමින් පවතිනවා. ඒ නිසා ජාතිවාදය කියන එක ඇති කරන් ඉන්නේ සුළු ප‍්‍රමාණයක්. මම හිතන්නේ 5% ක් වගේ. ඒකේ සිංහල අයත් ඉන්නවා, දෙමළ අයත් ඉන්නවා, මුස්ලිම් අයත් ඉන්නවා. මේ පුද්ගලයෝ තමයි මේ රටේ ලොකුම විනාශය කරන්නේ....”  යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියා. ආපදා සහන සැලසීමේ මීළඟ අදියර පාසල් සහ පෙරපාසල් ඉලක්ක කරගනිමින් ඉදිරි සතියේදී පැවැත්වෙනවා.