Sunday, September 22, 2024

General line - 0115112241

වාහන කොල්ලකරුවන් පිරිසක් අත්අඩංගුවට - මිලියන ගණනින් මුදලුත් කොල්ල කාලා




අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වසරේ ජනවාරී මස 06 වනදා පානදුර දකුණ පොලිස් වසමේ ගේ‍්‍රස් පීරිස් මාවත අසළ දී මොටර් රථයක් කොල්ලකා රුපියල් 78,15,800ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පෙරේදා අත්අඩංගුවට ගැණුනා. ඒ, කහතුඩුව ප‍්‍රදේශයේදීයි. 

ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් අනුව එම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ පන්නිපිටිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී කොල්ලෑකම්වලට උපයෝගී කරගත් අත්විලංගු සහ මෝටර් රථයක් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කෙරුණා. 

මේ අතර සැකකරුවන් විසින් කොල්ලකන ලද මෝටර් රථ මිලදී ගෙන සිටි පුද්ගලයෙකු සහ එය අලෙවි කිරීමට අනුබල දුන් පුද්ගලයෙකු ද ඊයේ මාකොල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා සතුව තිබී අයිතිය තහවුරු කළ නොහැකි මෝටර් රථයක් සහ ජීප් රථයක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අනෙක් සැකකරුවන් සිව් දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.