Saturday, January 11, 2025

General line - 0115112241

පට්ටිපොල සිට දුම්රියෙන් බණ්ඩාරවෙලට වතුර (VIDEO)




උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ළිං හා දිය උල්පත් සිදි දැඩි පීඩාවට පත්ව සිටින බණ්ඩාරවෙල ජනතාවගේ ජල ප්‍රශ්ණයට කඩිනම් විසඳුමක් ලබාදීමට තිරණය කර තිබෙනවා.

ඒ පට්ටිපොල සිට දුම්රියෙන් දිනකට ජල ලීටර් ලක්ෂ දෙක බැගින් ගෙනැවිත් ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහණ මණ්ඩලයට අයත්  මහියංගනය ජල ව්‍යපෘතියේ සිට එම ජලය බවුසර් ජනතාවට බෙදාහැරීමය. ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ ප්‍රධානත්වයෙන් අද (14) ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදි පැවැති විශේෂ සාකච්ඡාවකදි මේ බව තීරණය කෙරුණා.  
 
මීට අමතරව බදුල්ල දෙමෝදර ජල ව්‍යපෘතියෙන් තවත් ජල ලීටර් ලක්ෂ දෙකක් පමණ බවුසර් බෙදිය හැකි බවද මකුළ් ඇල්ල හා වෙහෙරගල තැන්න ජල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන බවද ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ඌව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රුවන් ලියනගේ මෙහිදී පැවසුවා.  

බණ්ඩාරවෙල ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලෙස බණ්ඩාරවෙල විසල් ව්‍යාපෘතිය යටතේ මිලියන 17000 ක් වියදමින් උමාඔය ජලාශයේ සිට ජලය රැගෙන ඒමට මධ්‍යම රජය කටයුතු කරගෙන යනු ලබනවා. 

අබලන් වු බණ්ඩාරවෙල අතුරු මාර්ග 62ක්  කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 63ක මුදලක් රජයෙන් ලැබෙන අතර කඩිනමින් මාර්ග සංවර්ධනය කරන බව ප්‍රධාන ඇමතිවරයා මෙහිදි පැවසුවා. 
  
උමාඔය සහන කාර්යාල ප්‍රධානී  පී. බී. අමරසේකර, ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ගාමිණි රාජකරුණා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සන්ධ්‍යා අඹන්වල හා ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක යන අයද මෙම සාකච්චාවට  සහභාගි වුණා.