Monday, September 23, 2024

General line - 0115112241

පීලි පැනීමට ලක්වූ මැදිරි හතරෙන් මැදිරි දෙකක් පීලිගත කෙරේ (PHOTOS)




පීලි පැනීමට ලක් වූ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ මැදිරි හතරෙන් මැදිරි දෙකක් මේ වනවිට පීලිගත කර තිබෙනවා. 

අනෙක් මැදිරි දෙක පීලි ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. 

මෙම තැපැල් දුම්රිය පසුගිය 13 වැනි දා අලුයම, හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර පිහිටි අඩි හැටේ පැලම මතදී පීලි පැනීමට ලක් වුණා. 

මෙමගින් අඩි හැටේ දුම්රිය පාලමට හා දුම්රිය මැදිරියට දැඩි අලාභ හානි සිදු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මැදිරි පීලිගත කිරීමේ කටයුතු සඳහා බදුල්ල නාවලපිටිය සහ කොළඹ දුම්රිය ස්ථානවල නඩත්තු අංශයේ සේවකයින් එක්ව සිටිනවා.

පීලිගත කරන ලද දුම්රිය මැදිරි දෙක හැටන් දුම්රිය ස්ථානයේ සහ කොටගල දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා. 

පීලි පැනීමට ලක් වූ දුම්රිය මැදිරි පීලිගත කිරීමට දොඹකරයක සහයෝගය ලබා ගැනීමට කටයුතු කළ ද එම දොඹකරය සහිත දුම්රිය කැඩී ගොස් ඇති බැවින් අඩි හැටේ පාලම මතින් ධාවනය කිරීමට නොහැකි බවයි වාර්තා වන්නේ. 

පීලි පැනීමට ලක් වූ සියලූ දුම්රිය මැදිරි ඉවත් කර ගැනීමෙන් පසු අලාභ හානි සිදුවූ අඩි හැටේ පාලම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බවයි දුම්රිය ඉංජිනේරුවන් සඳහන් කළා.