Monday, September 23, 2024

General line - 0115112241

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් හෙට සිට වැසෙයි




හෙට (17) සිට  මැදවච්චිය - තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ දින කිහිපයක් සඳහා බවයි දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ සඳහන් කළේ.

එම මාර්ගයේ නව පාලමක් ස්ථාපිත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

ඉන්දීය 'ඉර්කොන්' සමාගම විසින් ඉදි කරන ලද මැදවච්චිය - තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ පාලමේ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් තලෙයිමන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයක් පැනනැඟී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ

මාර්ගය පැයට කිලෝමීටර් 120ක වේගයෙන් දුම්රිය ගමන් කළ හැකි පරිදි ගිවිසුම්ගතව රුපියල් කෝටි ගණනක් වැය කර ඉදි කළ ද දුම්රිය මඟ මෙසේ වසර දෙකක් යෑමටත් පෙර පාලම් යළි ස්ථාපිත කිරීම නිසා බරපතළ ගැටලු නිර්මාණය විය හැකි බවයි දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඉන්දීය ඉර්කොන් සමාගම අදාළ පාලම සම්බන්ධව අඩුපාඩු පිළිගෙන පාලම යළි ඉදි කිරීම සම්බන්ධව කටයුතු කරනු ලබන බවයි. එම දිනවල දුම්රිය ධාවනය නොකෙරෙන මැදවච්චිය - තලෙයිමන්නාරම කොටස සඳහා මගීන්ට බස් පහසුකම් සපයා ඇති බවත් ඒ සඳහා යන වියදම පවා අදාළ සමාගම මගින් සිදු කෙරෙන බවත් පෙන්වා දුන්නා.

උතුරු දුම්රිය මාර්ගයේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත් කර ඇති බවත් ඒ අනුව මෙම අලුත්වැඩියාවන් සිදු කෙරෙන බවත් පැවසුවා.

එසේම දිනකට දුම්රිය ගමන් වාර 4ක් පමණක් සිදු කෙරෙන මේ දුම්රිය මාර්ගයේ පාලම් මතින් අධික බරින් යුත් එම් 9 හෝ එම් 10 පන්තියේ දුම්රිය එන්ජින්ද ධාවනය නොකෙරෙන අතර, එවන් තත්ත්වයක් තුළ කෙටි කාලකදී පාලම් යළි ස්ථාපිත කිරීමට සිදු වූයේ නම් තවත් වසර කිහිපයක් ගත වෙද්දී ඇති වන ‍තත්ත්වය තේරුම් ගත හැකි බවද එම වෘත්තීය සමිති පෙන්වා දෙනවා.