Wednesday, September 25, 2024

General line - 0115112241

විභාග වංචාකරුවන් ගැන ඇමති අකිල දැඩි තීරණයක 




විභාග වංචාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ පටු ලාභ අරමුණු වෙනුවෙන් ඇතමුන් පාසල් දරුවන් ද බිල්ලට දෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. 

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ දෙවන කොටස සම්බන්ධයෙන් මතු වූ ගැටළුව පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

පසුගිය කාලයේ සිදු වූ විභාග වංචා සහ විභාගයට පෙර ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම වැනි සිද්ධීන් වලක්වා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව විවිධ ආරක්ෂිත ක‍්‍රම අනුගමනය කර තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් සමාජය තුළ විශ්වසනීයත්වයක් ගොඩනැගී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එහෙත් එය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

ගම්පහ ප‍්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු බව කියන පුද්ගලයෙකු සිසුන් වෙත ලබා දුන් අත් පත‍්‍රිකාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක‍්‍රියාත්මකයි. 

කෙසේ වෙතත් රසායන විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න කිහිපයක් පිට කර ඇත්තේ විභාගය පැවැත්වෙන කාල සීමාවේදීම බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණා. 

එම නිසා විභාගයේ විශ්වසනීයත්වයට හෝ රහස්‍ය භාවයට ඉන් බාධාවක් සිදු වී නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර අවධාරණය කරන්නේ. 

විභාගය ආරම්භ වූ පසු ශාලාවේ සිටි පුද්ගලයෙකු හරහා ප‍්‍රශ්න පත‍්‍රයේ ඇතුළත් ප‍්‍රශ්න කිහිපයක් සැකකාර උපකාරක පන්ති ගුරුවරයා විසින් ලබා ගෙන ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. 

ඉන් අනතුරුව සැලසුම් සහගතව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග එක්ව අදාළ අත් පත‍්‍රිකාව මුද්‍රණය කර සිසුන් වෙත බෙදා හැර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කි‍්‍රයාත්මකයි.