Thursday, December 26, 2024

General line - 0115112241

හූස්ටන් ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීම දැවැන්ත ව්‍යාපෘතියක් - ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර කියයි.

වසන්ත පිවිතුරු




හාවි සුළි කුණාටුවෙන් හා ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වූ  හූස්ටන් නගරය යථා තත්ත්වයට පත් කිරිමට වසර ගණනාවක් ගතවනු ඇතැයි ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රේරේග් ඇබර්ට් පවසනවා.

ඒ බී සී ප්‍රවෘත්ති සේවාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ හූස්ටන් ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීම වසර ගණනාවක් ගතවන  දැවැන්ත ව්‍යාපෘතියක් වනු ඇති බවයි.

ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඩොලර් බිලියන 125 කට අධික මුදලක් වැය වනු ඇති බව ටෙක්සාස් ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිඛෙනවා.

දශකයකට අධික කාලයකට පසු ඇමරිකාවට හැමූ ප්‍රබලතම චන්ඩ මාරුතය වශෙයන් හාවි සුළි කුණාටුව හැදින්වුණා.

සුළි සුළගෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා ඩොලර් බිලියන 5.9 ක් වෙන් කර දෙන ලෙස ධවල මන්දිරය ඇමරිකානු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කළා.

ඒ සදහා තම පෞද්ගලික මුදලින් ඩොලර් මිලියනයක් පිරිනමන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.

ටෙක්සාස් ප්‍රාන්තයට විශාල හානියක් සිදුකළ හාවි සුළි සුළගින් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූණා.

තවත් තුන්ලක්ෂ 11,000 ක් ආපදා සහන සදහා ලියාපදිංචි වී තිබෙනවා.

ජල ගැල්ම සමනය වෙමින් පවතින අතර විනාශයට පත්වූ නිවාස සංඛ්‍යාව ලක්ෂයක් පමණ වන බවයි ඇමරිකානු වාර්තාවල සදහන්.