Saturday, April 27, 2024

General line - 0115112241

තරග පාවාදීමේ සිද්ධිය පරීක්ෂණ කරන්න - ක්‍රිකට් විධායක කමිටුව දයාසිරිගෙන් ඉල්ලයි 




හිටපු නායක අර්ජුණ රණතුංගට එල්ල වී ඇති තරග පාවාදීමේ චෝදනාව පිළිබඳ  පරීක්ෂණයක් සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්  ඉල්ලීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා. 

ඒ සඳහා වන ලිපියකට විධායක කමිටුවේ සියලූ සාමාජිකයින් අත්සන් තබා ඇති බවයි අප වෙත වාර්තා වුණේ. 

හෙට (07) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත මෙම ලිපිය භාරදීමට නියමිතව තිබෙනවා.

1994 වසරේදී ඉන්දීය කණ්ඩායම සමග ලක්නව් හිදි පැවති ටෙස්ට් තරගය මුදලට පාවාදී ඇති බවට ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය Criminal Investigations Bureau නිකුත් කළ වාර්තාවකින් හෙළිදරව් වී තිබෙන බව අප මීට පෙර අනාවරණය  කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනෙකුගේ නම් ද එම වාර්තාවේ සඳහන් වනවා.

අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වාගේ නම් ඇතුළත් මෙම වාර්තාව මගින්  ගනුදෙනුව සිදු ආකාරය පිළිබඳවද  සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.

මුකේෂ් කුමාර් ගුප්තා නම්  බුකීකරුවෙකු මෙම ගනුදෙනුවට මැදිහත් වී ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

බ්‍රයන් ලාරා, මාර්ක් වෝ, ඇලේක්ස් ස්ටුවර්ට් ඇතුළු විදෙස් ක්‍රීඩකයින්  රැසක්ද තරග පාවාදී ඇති බවට ඉන්දීය අපරාධ පරීක්ෂණ කාර්යංශය නිකුත් කළ මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.