Saturday, May 18, 2024

General line - 0115112241

ගෘහස්ථ පරිභෝජනයේදී පොල් ගෙඩියෙන් 40% නාස්ති වෙනවා - මේ ගැන අවධානය යොමු කරන්න




පොල් පරිභෝජනයේදී නාස්තිය අවම කරන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

දැනට කෙරෙන සාමාන්‍ය ගෘහස්ථ පරිභෝජනයේදී පොල් ගෙඩියකින් සියයට 40ක් පමණ නාස්ති වන බවයි පොල් පර්යේෂණ ආයතනය පවසන්නේ.

පොල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම නිසා මෙම නාස්තිය අවම කිරීම වඩා වැදගත් වන බවද ඔවුන් පෙන්වා දුන්නා.

එහි අධ්‍යක්ෂ ආචාර්ය ප‍්‍රියන්ති ප‍්‍රනාන්දු සඳහන් කළේ පොල් කිරි අතින් මිරිකා ලබා ගැනීමේදී ඉන් සියයට 40ක් නාස්ති වන බවයි. එමෙන්ම මේ දිනවල පොල් පරිභෝජනය කිරීම ජනතාව විසින් තරමක් අඩු කර ගන්නේ නම් වඩාත් වැදගත් බවද සඳහන් කෙරුණා.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී පෙනී ගියේ රුපියල් 75 සිට 100 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ මේ වන විට පොල් අළෙවි වන බවයි. ඇතැම් ප්‍රදේශවල ඊටත් වඩා වැඩි මිල ගණන් යටතේ පොල් අලෙවි කෙරෙනවා. ගන්දර ප‍්‍රදේශයේ ඇතැම් වෙළඳසැල්වල පොල් මිල රුපියල් 100ක්. මහියංගණයේ පොල් ගෙඩියක මිල රුපියල් 85ක් වනවා. නුගේගොඩ දෙල්කඳ පොලේ පොල් ගෙඩියක් ඉකුත් ඉරිදා අළෙවි වූයේ රුපියල් 90කටයි. 

පොල් මිල මෙලෙස ඉහල යාමට කරුණු 02ක් බලපා ඇතැයි නෙත් නිවුස් ඊයේ කළ විමසිමකදී පොල් පර්යේෂණ ආයතනය පැවසුවා.

පැවති කාළගුණික් තත්ත්වයන් හේතුවෙන් ඵලදාව අඩු විම පළමු හේතුවයි. අපනයන අපේ්ක්ෂාවෙන් සිදු කෙරෙන පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා පොල් අස්වැන්නෙන් සැළකිය යුතු කොටසක් යොදා ගැනීමද පොල් මිල ඉහළ යාමට බලපා ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

පිටි කළ පොල්, පොල් කිරි සහ නැවුම් පොල් තෙල් සඳහා විදේශීය වෙළඳපොළේ ඇති ඉල්ලූම සහ මිල කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙන බවයි පොල් පර්යේෂණ ආයතනය වැඩිදුරටත් කියා සිටියේ.