Saturday, May 18, 2024

General line - 0115112241

"දැන් සතුරන් නැහැ" - ජනපති කළුතරදී කියයි




ශ‍්‍රී ලංකාවට සතුරු කිසිවෙක් ජාත්‍යන්තරය තුළ දැන් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ සිය අමෙරිකානු සංචාරය නිමවා නැවත මව්බිමට පැමිණීමෙන් පසු කළුතර ඊයේ (25) පැවති උත්සවයකට සහභාගී වෙමින්. 

කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයක් විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

මේ අතර සංහිඳියාව වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ සිදු කෙරෙමින් තිබෙන කටයුතු පිළිබඳව ජාත්‍යන්තරය තුළ ප‍්‍රසාදයක් ඇති කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉකුත් අමෙරිකානු සංචාරයේදී හැකි වූ බව එම සංචාරයට එක්වූ දූත මණ්ඩලය පවසනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙලෙස අමෙරිකාවේ සංචාරය කළේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 72වන සැසිවාරයට සහභාගී වීම සඳහායි.

ඊට සමගාමීව වෙනත් රටවල රාජ්‍ය නායකයන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් සමගද ජනාධිපතිවරයා සාකච්ඡා කළා.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරීස් සෙයිද් අල් හුසේ්න් සමග කළ සාකච්ඡාව ඒ අතරින් වඩාත් ඵලදායී වු බවයි දූත මණ්ඩල සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් කියා සිටියේ. 

ශ‍්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් සිටින බවද ඊට අවශ්‍ය  ඕනෑම සහයක් ලබා දෙන බවද සෙයිද් අල් හුසේන් මෙම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර තිබෙනවා.