Saturday, May 18, 2024

General line - 0115112241

හිටපු කොටි නායකයෙකුගේ ගුණ සැමරුම යාපනයේදී (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 30 වන ගුණ සැමරුම අද (26) යාපනය නල්ලූර් කෝවිල අසළදී සිදුකර තිබෙනවා.

මෙය දේශපාලන නියෝජිතයින් සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් වර්තමානය වනවිට යාපනය නල්ලූර් කොවිල අසළ තිබූ දිලීපන්ගේ ස්මාර්කය ඉවත්කර තිබෙනවා.

අද දිනයේ එම ස්ථානයේ දිලීපන්ගේ ඡායාරූපයක් තබා දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා අමාත්‍ය ආනන්දි ශෂිධරන් හා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් දිලීපන්ගේ ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට යාපනය මෙන්ම කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවලින්ද සාමාන්‍ය වැසියන් පැමිණ තිබෙනවා.

1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි. 

එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාළ උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියා.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී තිබූ අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසයි.