Saturday, May 18, 2024

General line - 0115112241

නැගෙනහිර වෙරළෙන් ලංකාවට ඇවිත් ගල්කිස්සේ නිවසක සිටියදී ඇල්ලූ රෝහින්ග්‍යා සරණාගතයින්ගේ කතාව!




 

මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස ගල්කිස්ස පොලිසිය භාරයට ගෙන තිබෙනවා. පොලිසිය විසින් එවැනි පියවරක් ගනු ලැබුවේ සරණාගතයන් රඳවා සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අද (26) බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් දැක්වූ විරෝධතාවක් හේතුවෙනි. "නීති විරෝධී මියන්මාර ත්‍රස්තවාදීන් පිරිසක්" එම ස්ථානයේ රැඳී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේ පිරිස එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් එහි ඇතිවිය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ රැකවරණය යටතේ එම පිරිස රඳවා ඇති බවට එම ස්ථානයේ භාරකරුවන් ප්‍රකාශ කළ නමුත් භික්ෂූන් වහන්සේ පිරිස දැඩි ලෙස කියා සිටියේ එම පිරිස නීති විරෝධී ලෙස එහි රැඳී සිටින පිරිසක් බවය. ඉන් අනතුරු එම ස්ථානයට ඇතුළු වූ පොලිසිය විසින් එහි සිටි මියන්මාර සරණාගතයන් පිරිස සිය භාරයට ගනු ලැබීය. "ස්වාමීන් වහන්සේලා ඉදිරිපිටදීම පොලිසිය විසින් කාන්තාවන්, ළමුන් ඇතුළු එම පිරිස පොලිස් ට්‍රක් රථයකට නංවා ගල්කිස්ස පොලිසියට රැගෙන ගියා" යනුවෙන් එම අවස්ථාවේ එහි සිටි තම වාර්තාකරුවක පැවසූ බව බීබීසීය පවසනවා.

මෙම සරණාගතයින් 30 දෙනා පසුගිය අප්‍රේල් 30 වෙනිදා කන්කසන්තුරේ ආසන්න මුහුදේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. ඔවුන් ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වී ඇති බව පසුව වාර්තා වුණේ. කාන්තාවන් 07 සහ දරුවන් 16 දෙනෙක් එම පිරිස අතර වූහ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සරණාගතයන් පිරිස පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිසිය කියා සිටියේ ඇතිවූ තත්ත්වය හමුවේ මියන්මාර සරණාගතයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර ඔවුන් සිය භාරයට ගත් බවය. භික්ෂූන් වහන්සේ පිරිසට නායකත්වය දුන් අක්මීමන දයාරතන හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම පිරිස වහාම රටින් පිටුවහල් කළ යුතු බවය. මේ අතර මියන්මාරයෙන් පිටුවහල් කරන රෝහින්ග්‍යා මුස්ලිම් "අන්තවාදීන්" තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබ ඇතැයි සඳහන් වීඩියෝ දර්ශන පෙළක් ෆේස්බුක් සමාජ ජාලයේ පළ වී තිබෙනවා.