Saturday, May 18, 2024

General line - 0115112241

 උතුරු කොරියාවට මෙන් ලංකාවටත් අන්තර් ජාතික විමර්ශන කමිටුවක්? - වයිකෝ පෙකෙනිවැලේ එල්ලෙද්දී ලාංකික ගැහැණියකගෙන් සැර පහරක් 

චමින්ද කරුණාරත්න ජිනීවා සිට 




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදි දෙමල ඩයස්පෝරාව බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුව තිබෙනවා. 

ඒ, තමිල්නාඩුවේ ප්‍රකට  එල්.ටී.ටී.ඊ  හිතවාදී දේශපාලකයෙක් වන  වයිකෝ දැඩි  කතාවක් කරමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් දිගින් දිගටම වන බවත් දැන් කරන්නට තිබෙන්නේ මානව හිමිකම් කොමිසමේ රෙකමදාරුව  සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණිල්ලක් කර  උතුරු කොරියාවට එරෙහිව පිහිටුවාක් මෙන් අන්තර් ජාතික විමර්ශන කමිටුවක් ඉල්ලා සිටීම බවයි.

ඒ සදහා තීරණයක්  ගැනීමට ලංකාවට පැමිනෙන ලෙස වයිකෝ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මෙය ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන  ලද බරපතල යෝජනවක් වනවා.

වයිකෝගේ වේගවත් කතාවෙන් පසු ඔහුගේ කන්ඩායම ඔහුට සුබපතද්දී  ඔහු අසලට කාන්තාවක් හා පිරිමියෙක් පැමිණ ඇති අතර වයිකෝට ආමන්ත්‍රණය කල කාන්තාව "ඔබ ලංකාවෙන්ද" කියා වයිකෝගෙන් ඉංග්‍රීසි බසින් විමසා තිබෙනවා.

තරමක් මවිතයට පත්වූ වයිකො "නැහැ මම තමිල්නාඩුවෙන්  " යයි සඳහන් කර ඇති අතර " එහෙනම් ඔබ කවුද ලංකාවට එක්සත් ජාතීන්ගේ මහලේකම්ට එන්න ආරාධනය  කරන්නේ කොහොමද .. එය ඔබේ රට නොවේ "  කියා කාන්තාව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

වයිකෝට උඩ බිම බැලුනි.." ඔබ ලංකාවෙන්ද ?" කියා ඔහු පෙරලා ප්‍රශ්න  කර තිබෙනවා.

" ඔව් මම ලංකාවෙන් .ඒකයි මම අහන්නේ නුබ කවුද මගේ රට ගැන කතා කරන්න කියා"  යනුවෙන් කාන්තාව පිළිතුරු ලබා දී ඇති අතර 
" නුඹලා අපේ මිනිසුන් මැරුවා"  යනුවෙන් වයිකෝ  කෑගසන්නට පටන් ගෙන ඇති අතර ඔහුට  පිළිතුරු දී ඇත්තේ ඒ  අසලම සිටි ශ්‍රී ලාංකිකයෙකි.

" නුඹ  කවුද අපට මෙහෙම කියන්න. එතකොට වසර 30 තිස්සේ නුඹලගේ ත්‍රස්තවාදීන් කල දේවල් අමතකද ?  ඔවුන් කෙතරම් මිනිස් බෝම්බ පිපුරුවාද, කෙතරම් අහිංසක මිනිසුන් මැරුවාද,  නුඹලාට තවදුරටත් මෙහි ඇවිත් බොරු කියා ලෝකය රවටන්න අපි ඉඩ දෙන්නේ නැහැ " යනුවෙන් ඔහු පවසන විට 
වයිකෝ වහාම එතනින් ඉවත්ව ගොස් තිබෙනවා.


මෙම සිදුවීමඅවස්ථාවේ  අවට සිටි ශ්‍රී ලංකිකයෙක් මෙය  පටිගත කළ ද දෙමළ  ඩයස්පෝරාව නියෝජිතයන් ආරක්ෂක  නිලධාරීන්ට පැමිණිලි කර  එය මකා දැමීමට පියවර ගෙන තිබෙනවා.


වයිකෝ මෙම සිදුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ ජගත් මානව හිමිකමි කවුසිලයේ 2015 යෝජනාව ක්‍රියාත්මක නොකර සිටිමට ශ්‍රීලංකාවේ අග්‍රාමාත්‍ය හා ජනාධිපතිවරයා කටයුතු කරන බවයි.

ඒ නිසා තමන්  ඇන්ටෝනියේ ගට්රස්ගෙන් ඉල්ලා සිටියේ යුධ අපරාධ සිද්ධ වූ ප්‍රදේශවලට ගොස් නිරික්ෂණය කර අපට සාධාරණයක් ඉෂ්ඨ කර දෙන ලෙස බවයි ඔහු කියා ඇත්තේ.

"මම සැසිවරය අවසන් කරලා එළියට එද්දී ශ්‍රී ලාංකීය ගර්භිනි කාන්තාවක් මගේ අසලට ඇවිත් ඔයා ඉන්දියානුවෙක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කරන්නට ඔයාට ඇති අයිතිය මොකද්ද කියලා ඇහුවා.ඔයා එල්ටීටීඊකාරයෙක් කියලා කිව්වා.

මම මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.මම ඒ කාන්තාවගෙන් ඇහුවා ඔයා ශ්‍රී ලංකාවේ ද කියලා... ඇය ඔව් කිව්වා... මං කිව්වා ඔයාල වගේ අහිංසක කාන්තාවන්ට හිංසා කරලා නේද මරලා දැම්මේ. අපි කතා කරන්නේ ඔයාලා වෙනුවෙන් කිව්වා.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන් හා ඉන්දියානුවන් අතර පෙකෙනිවැල් සම්බන්ධයක් තියෙනවා. ඒ ගැන  ඔයාලා දන්නේ නැද්ද යනුවෙන් මම විමසා සිටියා." යනුවෙන් වයිකෝ එහිදී සඳහන් කර තිබෙනවා.