Friday, January 10, 2025

General line - 0115112241

ස්මාර්ට් හැඳුනුම්පත සමග එන ජාතික පුද්ගල නාමලේඛනය ජනතාවගේ පුද්ගලිකත්වයට හානියක්!




හඳුන්වාදීමට යෝජිත නව විද්‍යුත් හැඳුනුම්පත සමග වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගේ දත්ත සහිත ජාතික පුද්ගල නාමලේඛනයක් සකස්කිරීමටද සුදානමක් පවතිනවා. ඒ සඳහා වන නීති රීතිද මේ වනවිට සම්මතවී තිබෙනවා.

මෙම නව ජාතික පුද්ගල නාමලේඛනයට මෙතෙක් කලක් හැඳුනුම්පතෙහි වූ නම, ලිපිනය, උපන් දිනය වැනි දැනට පවතින තොරතුරුවලට අමතරව අමතරව පවුලේ විස්තරත්, විවාහයන්/දික්කසාද වැනි තොරතුරුත් ජෛවමිතික ලක්ෂණ ද (Biometric Data) ඇතුළත් කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා එකතු කරන තොරතුරු මගින් ඉදිරියේදී ජනතාවගේ පෞද්ගලිකත්වයට හානියක් සිදු විය හැකි බවට ඇතැම් පාර්ශව සැක පළකරනවා. ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද මේවනවිට ගොනුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විරෝධය පලකරන පාර්ශව පවසන්නේ කිසියම් පුද්ගලයකුගේ සියලු තොරතුරු මේ සමග එකම ගොනුවක් තුලට ඇතුළත් වන බවය. මෙලෙස දත්ත ගබඩා කිරීමේදී ඒවායේ ඇති සුකරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටළු මතුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බීබීසීය වෙත අදහස් දැක්වන මෙම ක්‍රියාදාමයට විරෝධය දක්වන ක්‍රිියාකාරිකයකු වන ගණකාධිකාරීවරයකුවන රවී රත්නසබාපති පවසන්නේ, "හැඳුනුම්පත නෙවෙයි ප්‍රශ්නේ, අපේ ජීවිතයේ සියලු තොරතුරු ටික එක දත්ත ගබඩාවකට රැස්කිරීම," බවය. වැඩිදුරටත් අදහස් දක්වන ඔහු පෙන්වා දෙන්නේ එක් එක් රජයේ ආයතනවල ඇති තොරතුරු මින් මධ්‍යම දත්ත ගබඩාවකට එන බවය.

"දැන් ජනතාවගේ ඉඩම් ගැන තොරතුරු ඉඩම් රෙජිස්ටරේ තියෙනවා. ඉඩම් සම්බන්ධයෙන් විතරයි ඒ තොරතුරු භාවිතා කරන්න පුළුවන්. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන විස්තරත් එහෙමයි, ඒවා ඔක්කොම එකට සංසන්දනය කරලා දැන් බලන්න බැහැ. තියෙන වාහන මොනවාද? ඉඩම් මොනවද? පවුලේ අය කවුද කියන එක. නමුත් මේ ව්‍යාපෘතියෙන් පස්සේ මේදේ කරන්න පුළුවන් වෙනවා."

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය පවා හැක් කළ බව සිහිපත් කරන ඔහු මේ හේතුවෙන් යම් පුද්ගලයකුගේ සියලු තොරතුරු යම් යම් පුද්ගලයින් අතට පත්වීමේ අවධානමක් ඇති බව පෙන්වා දෙනවා.