Friday, January 10, 2025

General line - 0115112241

කරගෙන යන්න දෙන්නේ නැත්නම් කරන්න ඕන දේ දන්නවා! දකුණේ මහ ඇමති ඒකාබද්ධයට කියයි




මන්තී‍්‍රවරුන් බහුතරයක් දිවුරුම් ප‍්‍රකාශ මගින් පළාත් සභාව විසුරුවා හරින ලෙස ඉල්ලීමක් කළහොත් එය සලකා බැලිය හැකි බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා පවසනවා. ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප‍්‍රධාන අමාත්‍යාවරයා මේ බව කියාසිටියා.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දකුණු පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් අවස්ථා කිහිපයකදි ප‍්‍රකාශ කළේ නියමිත කාලසීමට පෙර දකුණු පළාත් සභාව විසුරුවා හැරීමට තමන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. ඉදිරියේදී එන අයවැය පරාජය කිරීම ඔවුන්ගේ එක් සැලසුමක්. එලෙස පළාත් සභාවේ කටයුතු සිදුකර ගෙන යාමට ඉඩ නොදෙන්නේ නම් ඒ වෙනුවෙන් විකල්ප කි‍්‍රයාමාර්ග ගන්නා බවද දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

ඇතැම් මාධ්‍ය වාර්තා පළවන්නේ දකුණු පළාත් සභාවේ පාලනය ඉදිරියේදී ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇති බවයි. එසේ වුවහොත් එම ආණ්ඩුකාර තනතුර දැනට පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධුරය හොබවන ෂාන් විජේලාල් ද සිල්වාට ලැබෙනු ඇති බවද එම වාර්තා අනාවරණ කර තිබුණා.