ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14) යාපනයේදී සිදු කළ සංචාරය අතරතුර මාර්ගයේ පැවති කලුකොඩි විරෝධතාවක් ඉදිරියට ජනාධිපතිවරයා හදීසියේම නිල රථයෙන් බැස ගමන් කර තිබුණා.
ඒ විරෝධතාකරුවන්ගේ ගැටලු මොනවාදැයි සොයා බැලීමටයි.
ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය අතරතුරදී විරෝධතාවන් නොපැවැත්විය යුතු ස්ථාන වශයෙන් යාපනය හින්දු විද්‍යාලය ඉදිරිපිට, ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සහ අධිකරණය අසල නම් කර තිබුණා.
තවද විරෝධතාවන්ට සහභාගී නොවිය යුතු දේශපාලඥයින් ලෙස එම්.කේ. සිවාජිලිංගම්, සුරේස් ප්‍රේමචන්ද්‍රන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යන අය නම් කරමින් යාපනය පොලීසිය විසින් අධිකරණ තහනම් නියෝගයක්ද ගෙන තිබූණා.
පසුව අදාල තහනම් ස්ථාන මගහැර යාපනයේ මෙම කලු කොඩි විරෝධතාව පැවැත්වූ අතර එහිදී ජාතික දෙමළ භාෂා දින උත්සවය වෙනුවෙන් පැමිණි ජනාධිපතිවරයා එම විරෝධතාවය දැක අදාළ ස්ථානයට ගමන් කළා.
එහිදී අදාල විරෝධතාවයේ සංවිධායකයෙකු වූ දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රි එම්.කේ. සිවාජිලිංගම් හමු වී "සිවාජිලිංගම් මොනවද ඔබේ ප්‍රශ්න...?" යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් සිවාජිලංගම් මන්ත්‍රිවරයා කියා සිටියේ "ජනාධිපතිතුමනි මේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න පුළුවන්ද? බැරිද?.. කියල අපිට කියන්න.." යනුවෙනි.
එහිදී පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ පුළුවන්ද.. බැරිද.. කියන තීරණය ගැන විසඳුම් දෙන්න පැමිණ තමන් හමුවී සාකච්ඡා කරන්න යනුවෙනි.
අනතුරුව තවත් මොනවද ඔබේ ප්‍රශ්න යනුවෙන් යළිත් ජනාධිපතිවරයා ඇසූ විට සිවාජිලිංගම් මන්ත්‍රිවරයා කියා සිටියේ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ යෙදී සිටින සැකකරුවන් තිදෙනා නැවත වව්නියාව බන්ධනාගාරයට මාරු කරවන ලෙසටයි.
එහිදී ද ජනාධිපතිවරයා විසින් කියා සිටියේ අදාල කරුණ සම්බන්ධයෙන් නිලධාරීන් සමග සාකච්ඡා කොට සිරකරුවන් මාරු කිරීම සිදු කරන බවයි.
අනතුරුව ජනාධිපතිවරයා තවත් ප්‍රශ්න ඇත්දැයි අසා සිටියා. ඊට පිළිතුරු දුන් සිවාජිලිංගම් සඳහන් කළේ.. තවත් ප්‍රශ්න නැති බවයි.
පසුව එම ස්ථානයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නික්ම ගිය පසු විරෝධතාකරුවන්ද විසිර ගියා.