Saturday, January 11, 2025

General line - 0115112241

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න වෙයි (UPDATE)




දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින වැසි සහිත කාලගුණයත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ යන ජලාශ පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 9ක් දක්වා ආසන්න වී ඇතැයි සඳහන්.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්මට අඩි 8ක් දක්වා ආසන්නයට පැමිණ තිබෙනවා.

මෙම තත්ත්වයත් සමග ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය හා විමසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවකින් සිදුකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

විවෘත කර තිබූ ලක්ෂපාන, ඉහළ කොත්මලේ හා කැනියොන් යන ජලාශවල වාන් දොරටු පසුව වසා දමා තිබෙනවා.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට තවදුරටත් ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙමින් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඊයේ (15) රාත‍්‍රියේ හැටන් ඩන්බාර් වතුයායේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටී තිබුණා. ඉන් එම නිවසේ කාමර දෙකකට හානි සිදුව ඇතත් කිසිවකුටත් අනතුරක් සිදුව නැහැ. පස් කන්ද කඩාවැටෙන අවස්ථාවේ කුඩා ළමුන් තිදෙනකු ඇතුළු 5 දෙනකු නිවස තුළ සිට තිබෙනවා. 

ප‍්‍රදේශ කිහිපයක් තවදුරටත් නායයාමේ අවදානමේ පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. එහි  නායයාම් පර්යේෂණ අවදනාම් කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස කියාසිටියේ රත්නපුර, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ කෑගල්ල එම දිස්ත‍්‍රික්ක බවයි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟේ පමණක් ජල මට්ටම තවමත් ඉහළ මට්ටමක පවතින බවයි. එහෙත් ගංවතුර අවදානමක් ඇත්තේ මිල්ලකන්ද සහ රත්නපුරේ පමණක් බව ද ප‍්‍රකාශ කෙරුණා.

ගිං ගඟේ ඉහළ ගිය ජල මට්ටම ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. සෙසු ගංගා සාමාන්‍ය බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

-------------------------------------

තද සුළං අපේක්ෂා කෙරේ - කාලගුණ වාර්තා කියයි

(16-10-2017 07:05)

අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියාසිටියේ වැඩිවූ ජල මට්ටම අඩුවීම ක‍්‍රමයෙන් සිදුවන බවයි.

දිස්ත‍්‍රික්ක 6කට පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඒ අනුව කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල අවධානම් කලාපවල වෙසෙන ජනතාව තවදුරටත් අවදානයෙන් සිටිය යුතුයි.

දිවයිනට ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවැති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එය තවදුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මේ හේතුවෙන් අහස වළාකුළින් බරව පවතින අතර තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තතුව සඳහන් කළා.

සබරගමුව හා මධ්‍යම පළාත්වලට මිලිමීටර් 75කට ආසන්න වැසි ද අපේක්ෂා කෙරෙනවා. මුහුදේ සුළං වේගය ද ඉහළ යා හැකි බවයි පැවසුණේ.