විද්‍යුත් වාහන ආරෝපණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු නිරාකරණය කරමින් රෙගුලාසි, මාර්ගෝපදේශ, ප්‍රමිති හා ගාස්තු ක්‍රමවේද සකස් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේවනවිට පියවර ගනිමින් සිටිනවා.
ඒ අනුව විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන උපදේශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මෙරටතුළ විදුලි බල කර්මාන්තය, ජල සේවා සහ ඛණිජතෙල් කර්මාන්තයන්හි නියාමන ආයතනය ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ' ඔක්තෝම්බර් මස 19වන දින උදෑසන 8.30 සිට පස්වරු 2 දක්වා' මේ සම්බන්ධයෙන් මහජනතාවට පැමිණ අදහස් ලබාදීමේ අවස්ථාවද ලබාදී ඇති අතර ඒ සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඕකිඩ් ශාලාවේ එදිනට පහසුකම් සැපයීමට නියමිතයි.
එහිදී පහත සඳහන් කරුණු යටතේ අදහස් ලබාදිය හැකි වනවා.
1. විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන පිළිබද නාමාවලියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව
2. එම මධ්‍යස්ථාන සදහා සේවා සංග්‍රහයක් සකස්කිරීම
3. එම මධ්‍යස්ථානවලින් අය කෙරෙන ගාස්තු පාලනය සහ අනෙකුත් ආරක්ෂණ හා තාක්ෂණ ප්රමිතීන් හදුන්වාදීම
4. විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානවල සේවාව ලබාගන්නා පාරිභෝගිකයින් මුහුණ පාන ගැටලු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව
5. නිවාස වල ආරෝපණ
මේ වන විට ආසන්න වශයෙන් විද්‍යුත් වාහන 5500ක් පමණ මෙරට මාර්ගවල ගමන් ගන්නා අතර ඉන් 4500ක් පමණ විද්‍යුත් කාර් හා ද්විකාර්ය වාහන වනවා.
විද්‍යුත් යතුරු පැදි 1000ක් පමණ ද ඇති අතර ආරෝපණ මධ්‍යස්ථාන ඇත්තේ 47ක් පමණයි.
ඊට අමතරව හෝටල් 10ක සහ වෙනත් ස්ථාන 10ක පමණ ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.
විද්‍යුත් වාහන වැඩි වීමත් ආරෝපණ මධ්‍යස්ථාන වැඩි වීමත් සමග වෙනම වෙළෙඳ පොළක් නිර්මාණය වී ඇති අතර ඊට අදාළව මිල පාලනය, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, තාක්ෂණික වශයෙන් ප්රමිතිකරණය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සැකසීම සඳහා කොමිෂන් සභාව මෙලෙස අදහස් යෝජනා ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
ආරෝපණ මධස්ථාන ලෙස ගත්තත්, විදුලි පාරිභෝගිකයන් ලෙස ගත්තත් විදුලිය බිඳ වැටීම නිසා අර්බුදයකට මුහුණ දීම මෙන්ම මධ්‍යස්ථානවල ඇති ආරෝපණ යන්ත්‍රයේ තිරයේ සටහන් වන වොට් ප්‍රමාණය ආදී කරුණු පිලිබඳ ඇතැම් පාරිභෝගිකයන්ට විශ්වාසයක් නොමැති වීම මේවනවිට දැඩිව දක්නට ඇති කරුණක් වනවා.(පාරිභෝගිකයන් පවසන්නේ වොට් ප්‍රමාණය පෙන්වීමට ආරෝපණය කිරීමට පෙරාතුව මනු කියවීමක් අවශ්‍ය බවයි.)
තිරයේ සඳහන් කරුණු වෙනස් කළ හැකි නිසා පාරිභෝගිකයන්ට නිදහසේ මේ පිළිබදව බලා ගැනීමට අවශ්‍ය මනුවක් පිළිබඳව ද කොමිෂන් සභාව අවධානය යොමුකර ඇති බවයි පැවසෙන්නේ.
මෙම ආරෝපණ මධ්‍යස්ථානවල ගාස්තු අයකිරීමේ ක්‍රම දෙකක් ඇති අතර ඒ,කිලෝවොට් පැය ගණනට අයකිරීම සහ වේලාව අනුව අයකිරීමයි.
නමුත් කාලයට අනුව ගාස්තු අයකිරීම පිළිබඳව පාරිභෝගිකයන්ට එතරම් විශ්වාසයක් නොමැති නිසා විශ්වාසනීය මිනුම් ක්‍රමයක් ගැන මහජන අදහස් අපේක්ෂිතයි.
දැනට කොළඹ අවට කිලෝවොට් පැයකට රුපියල් 50ක් පමණත්, දුර බැහැරව රුපියල් 70ක් පමණත් අය කෙරෙන අතර ඒකමතික ගාස්තු ක්‍රමයක් ඉදිරියේදී බිහිවනු ඇති.
දැනට මේ කරුණු පිළිබඳව පැවැත්වෙන මහජන උපදේශනය අවසානයේ රෙගුලාසි, මාර්ගෝපදේශ, ප්‍රමිති හා ගස්තු ක්‍රමවේද සකස්කර ක්‍රියාත්මක කිරීම මේ වසර අග භාගයේදී හෝ ලබන වසරේ මුල භාගයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමග සම්බන්ධ විය හැකි තොරතුරු පහතින්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල
ලංකා බැංකු වෙළද කුළුන
අංක 28
ශාන්ත මයිකල් පාර
කොළඹ 3.
වෙබ් අඩවිය හරහා -www.pucsl.gov.lk
කොමිෂන් සභාවේ ෆේස් බුක් ගිණුම හරහා www.facebook.com/pucsl
ඊමේල් ලිපිනය හරහා – [email protected]