Saturday, January 11, 2025

General line - 0115112241

සම්බන්ධන්ගෙන් ලිපියක් කථානායකවරයාට




විපක්ෂ නායක ආර්.සම්බන්ධන් විසින් කථානායක කරු ජයසූරිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිර භාරයේ රඳවා ගෙන සිටින උතුරු හා නැගෙනහිර පළාත්වලට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන්.

ඔවුන්ව නිදහස් කිරිම සම්බන්ධයෙන් මෙහි කරුණු ඉදිරිපත්කර ඇති අතර මෙම සිරකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ කටයුතු කර ඇති බවයි විපත්ෂ නායකවරයා පෙන්වා දී තිබෙන්නේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න.

සිංහල පරිවර්තනයකි.

 

2017 ඔක්තෝබර් මස 16 දින

 

ගරු කථානායකතුමා,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ.

 

කථානායක තුමනි,

 

හදිසි පොදු වැදගත්කමක් ඇති කරුණක් සම්බන්ධ යෝජනාව

2017 ඔක්තෝබර් 17 වන දින - ප.ව. 6.30

 

2017 ඔක්තෝබර් 17 වන දින ප.ව. 6.30 ට සභාව කල්තබන අවස්ථාවේදී පොදු වැදගත්කමක් ඇති කරුණකට අදාළව පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කරනු ලබන බව මෙයින් දන්වා සිටිමි.

මෙම යෝජනාව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරභාරයේ රඳවා ගෙන සිටින උතුරු හා නැගෙනහිර පළාත්වලට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන්ය.

ඒ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරමි.

 

i         ඔවුන් වරදකරුවන් කර තිබේද, ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේද, නැතහොත් ඔවුන්ට එරෙහිව තවමත් චෝදනා ගොනු කර නොමැතිද, යන්න නොතකමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම පුද්ගලයන් සිරභාරයේ රඳවා ඇත.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ එම නීතිය ප්‍රකාරවය.

 

ii        ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා වූ උක්ත නීතිය ඉතා කෲර හා ද්වේෂ සහගත වන බැවින් එය යල්පැන ගිය නීතියක් ලෙසට සැලකිය යුතු බව ශ්‍රී ලංකා රජය විසින් දේශීය වශයෙන්ද ජාත්‍යන්තර වශයෙන්ද පිළිගෙන ඇත.  මෙම නීතිය අහෝසි කරනු ලබන බවටත්, ඒ වෙනුවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආචාර ධර්මතාවයන්ට අනුකූලව නව නීතියක් සම්මත කරනු ලබන බවටත් ශ්‍රී ලංකා රජය විසින් මෙරට හා ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු ලබා දී ඇත.

 

iii       මෙම පොරොන්දුව ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් ඉටුකර නැතත්, එකී නීතිය ව්‍යවස්ථාවලිය තුළ නොමැති වීමෙන්, ශ්‍රී ලංකා රජයේ පොරොන්දුවට අඩු තක්සේරුවක් නොලැබෙයි.

 

iv       මෙම පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකුට එරෙහිව ඇති එකම සාක්ෂිය වන්නේ, සාමාන්‍ය නීතියේදී පිළිගනු නොලබන, එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේ, ස්වකීය කැමැත්තට එරෙහිව ඔවුන්ගෙන් ලබාගත් පාපොච්චාරණයන්ය.  එම නඩු ඉදිරියට ගෙන යාමට පැමිණිලි පක්ෂය සූදානම් නොමැති බැවින් බොහෝ නඩු කල් දමා ඇත.

 

v        ඔවුන් සියලු දෙනාම ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සිරභාරයේ රඳවා තබා ගෙන ඇති අතර ඔවුන් සිරභාරයට ගෙන කෙටි කලක් තුළදී දඩුවම්, ලබා දී තිබුණේ නම් මේ වන විට එම දඬුවමට යටත් කාලය ද, ගෙවී යන්නට ඉඩ තිබුණි.

 

vi       මෙම සිරගත කර සිටින පුද්ගලයන්ගේ පවුල්වල අය ද තම පවුලේ ආදායම් උපයන්නන්ගේ සහය අහිමි වීම හේතු කොට ගෙන ඉතා දීර්ඝ කාලයක සිට බොහෝ පීඩාවන්ට මුහුණ පා ඇත. මෙම අතිශයින් වැදගත් කාරණය සම්බන්ධයෙන් නිසි අවධානයක් මෙතෙක් ලබා දී නොමැත.

 

vii      ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය තුළ ඇති අහිතකර තත්ත්වය හැරුණු කොට, මෙයට සමාන අවස්ථාවලදී එනම්, ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇති කරන ලද කැරලි වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට ද පොදු සමාවක් ලබා දී නිදහස් කරනු ලැබූවත්, එම ප්‍රතිපත්තියම මෙම සිරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ නොහැකි වන්නේ මන්ද යන්න තේරුම් ගත නොහැක.

 

viii     මෙම නඩු හුදෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ විෂය පථය යටතට ගැනෙන බව පිළිගත නොහැක. රජයේ ප්‍රධාන නීති උපදේශක වන ගරු නීතිපතිතුමාට නියමිත ගෞරවය සහිතව, මෙම නඩු තුළ යම් දේශපාලන පැතිකඩක් ඇති බවත්,  ඒවා හුදෙක් නීතිමය කරුණු වශයෙන් ආමන්ත්‍රණය කළ නොහැකි බවත් පෙන්වා දෙමි. ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුවට නිසි කාලයේදී සාධාරණ විසඳුමක් ලබා දී තිබුණේ නම් , සිරභාරයේ සිටින බොහෝ පුද්ගලයන් ඔවුන් අද සිටින තත්ත්වයෙන් නොව මේ රටට ඉතා ප්‍රයෝජනවත් පුරවැසියන් වශයෙන් සිටිනු දැකිය හැකි බව යුක්ති සහගත ලෙස පැවසිය හැකිය.  කරුණු  මෙසේ හෙයින්, මෙම ගැටළුව දේශපාලන කරුණක් වශයෙන් ද සළකා විසඳුමක් ලබාදීම ඔබතුමා සතු යුතුකමක් වන්නේය.  මෙම කාරණය දේශපාලන වශයෙන් සළකා විසඳුමක් ලබා නොදුනහොත්, එය සංහිඳියාවටත් හොඳ හිත හා සාමකාමීත්වය ස්ථාපනය කිරීමටත් දැඩි බාධාවක් වනු ඇත.

 

ix       ඇතැම් නඩු වවුනියාවෙන් අනුරාධපුරයට මාරු කිරීම හේතුකොට ගෙන අනවශ්‍ය ගැටළුවක්ද මතු වී ඇත. සාක්ෂිකරුවන්ට ආරක්ෂාවක් ලබාදීමට අවශ්‍ය වන්නේ නම්, එම ආරක්ෂාව නඩු මාරු නොකර කළ යුතුව තිබුණි. 

දෙමළ භාෂාවෙන් කටයුතු කරන වව්නියා අධිකරණයේ සිට සිංහල භාෂාවෙන් කටයුතු කරන අනුරාධපුර අධිකරණය දක්වා මාරු කරනු ලබන නඩුවල චූදිතයන්, උතුරු හා නැගෙනහිර පලාත්වලට අයත් දෙමළ භාෂාව කථා කරන අය වන අතර, ඔවුන්ට අධිකරණවල පරිපාලන කටයුතු කරන සිංහල හෝ වෙනත් භාෂාවක් කථා කළ නොහැක.  සිංහල භාෂාවෙන් කටයුතු කරන අනුරාධපුර උසාවියට ඔවුන්ගේ නඩු මාරු කිරීම තුළින් තමන්ට තේරුම් ගත හැකි භාෂාවකින් එනම්, දෙමළ භාෂාවෙන් නඩු ඇසීම සඳහා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමය අයිතිවාසිකම ප්‍රතික්ෂේප වනු ඇත.  අපරාධ නඩුවක දී වුවද චූදිතයෙකුගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන අතර, තමන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති නඩුවකට සම්පූර්ණ විස්තර සහිතව සාක්ෂි ඉදිරිපත් කිරීමට අයිතියක් ඔහුට ඇත.

 

නඩු එලෙස මාරු කරලීමෙන් චූදිතයන්ට තම කැමැත්ත පරිදි නීති උපදේශ ලබා ගැනීමේ අවස්ථාව අහිමි වනවා මෙන්ම, ඒ සඳහා ඇති අයිතිය ද ප්‍රතික්ෂේප වනු ඇත.  එම කරුණු හේතු කොට ගෙන සාධාරණ නඩු විභාගයට ද අගතියක් විය හැකිය.   මෙම යෝජිත නඩු මාරු  කිරීම තුළින් චූදිතයන්ගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු සංවේදිතාවක් නොමැති බවක්, පිළිබිඹු වෙයි.  එකී නාඩු මාරු කිරීම් වලට එරෙහිව සිර කරුවන් විසින් අඛණ්ඩ උපවාස ද පවත්වමින් සිටිති.  මෙම තත්ත්වය හදිසි පොදු වැදගත්කමක් ඇති කාරණයක් ලෙස ආමන්ත්‍රණය කළ යුතුව ඇත.

ඉහත දක්වා ඇති කරුණු සැළකිල්ලට ගෙන මෙම සිරකරුවන් වහාම නිදහස් කළ යුතු බවට මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

 

ආර්.සම්බන්දන්

පාර්ලිමේන්තු මන්ත්‍රි - ත්‍රිකුණාමලය

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක