රුපියල් කෝටි 2520 කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (17) ඉදිරිපත් කෙරුණා.
ඒ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්.
ඉකුත් අගෝස්තු මාසය සඳහා වන මූලධන සහ පුනරාවර්තන වියදම් ඊට ඇතුළත්.
ඉකුත්දා රජයට පවරා ගැනුණු මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අගෝස්තු මාසයට අදාළව රුපියල් කෝටි නවයක මුදලක්ද එමගින් වෙන්කර තිබෙනවා.
මේ අතර ජනපති කොමිෂන් සභා වියදම්, වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම්, වන්දි ගෙවීම්, නියං ආධාර, ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක වියදම් ඊට ඇතුළත් වෙනවා.
මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමුකළ යුතු බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක එහිදී ප්‍රකාශ කළේ.
මේ අතර දිනෙන් දින කල් දමමින් සිටි ජාතික විගණන පනත පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (17) භාර දුන්නා.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය තවත් තහවුරු කිරීමටයි ජාතික විගණන පනත ගෙන එන්නේ. එය ප්‍රමාදවිම ගැටළුවක් බව විගණකාධිපති ගාමිණි විජේසිංහ පවා ප්‍රකාශ කර තිබුණා.
ජාතික විගණන පනත සම්මත කරන බවට යහපාලන ආණ්ඩුවේ දින සියයේ වැඩසටහන මගින් ප්‍රතිඥා දී තිබුණේ 2015 වසරේ මාර්තු මස 19 වැනිදායි.