නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම නොවැම්බර් මස 10 වනදාට කල් තැබුණා.
ඒ, අදාළ පෙත්සම අද (27) කැඳවූ අවස්ථාවේදී එය විමසා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකු අකමැත්ත පළ කිරීම හේතුවෙන්.
බැදුම්කර ගණුදෙනුව පිළිබඳ විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමාට තර්ජනය කර අමානුෂික ලෙස බලපෑම් කළ බව පවසමින් ශ්‍රී ලංකා මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කළමණාකරුවෙකු වන එස්. පතුමානපන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණුකර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අට දෙනෙකු ඇතුළු විසි දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
පෙත්සම අද (27) කැදවනු ලැබුවේ සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
එහිදී සිසිර ද ආබෘ සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් දෙදෙනා මෙම පෙත්සම විමසීමට අකමැත්ත පළ කර සිටියා.
ඔවුන් කියාසිටියේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් දෙදෙනෙකු තමන් හොඳින් හඳුනන බැවින් පෙත්සම විමසීමට අකමැති බවයි.