උතුරේ මීළඟ ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් තමන්ට කිසිවක් පැවසිය නොහැකි බව විපක්ෂ නායක ආර් සම්බන්දන් පවසනවා.
එය උතුරු පළාත් සභාව විසුරුවා මැතිවරණයකට යාමේ දී සලකා බැලිය යුතු කරුණක් බවයි ඔහු කියා සිටියේ.
යාපනයේ පැවති උත්සවයකදී පැන නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර දැනටමත් උතුරේ මීළඟ ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගැටළු මතුව තිබෙනවා.
ඇතැමුන් පවසන්නේ ඉළංගයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජා උතුරේ මීළඟ ප්‍රධාන අමාත්‍යවරයා විය යුතු බවයි.
එමෙන්ම මාවයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ද පසුගියදා මේ සම්බන්ධයෙන් ඉඟියක් පල කළා.
ඒ අතරවාරයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා ධූරයට සුදුසු බව තවත් පාර්ශවයක් සිහින දකිනවා.
මෙම අර්බුද හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායක ආර් සම්බන්දන් සිය ස්ථාවරය දැනට පැවසිය නොහැකි බව කියා සිටියා.