Friday, May 3, 2024

General line - 0115112241

පොලිසියට හිමිව ඇති අසීමිත බලතල මෙන්න

වසන්ත පිවිතුරු - ප්‍රංශයේ ලී ෆිගාරෝ පුවත්පත ඇසුරෙන්




ප්‍රංශයේ ක්‍රියාත්මක වූ හදිසි නීතිය ඉවත් කිරිමට එරට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව වසර දෙකකට පසු අද (01) ප්‍රංශයට පනවා තිබු හදිසි නීතිය ඉවත්කර ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

2015 වසරේ දී ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එහි හදිසි නීතිය පනවා තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුවයි.

ගෙවනු වසර දෙකක කාලය තුල හය වතාවක් ප්‍රංශයේ හදිසි නීතිය පාර්ලිමේන්තුවේ දී සම්මත කරමින් දීර්ඝ කරනු ලැබුවා.

කෙසේ වෙතත් ප්‍රංශයේ ජනාධිපති ඉමානුවේල් මැක්රන් ඊයේ (31) දිනයේ දී නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතකට අත්සන් කරනු ලැබුවා.

එම පනත යටතේ ප්‍රංශයේ පොලිසියට වැඩි බලතල හිමි වන බවයි වාර්තා වන්නේ.

දේශ සීමාව, ගුවන් තොටුපොල, වරාය, දුම්රිය ස්ථානය ඇතුළු පොදු ස්ථානවල සිටින ඕනෑම අයෙකුගේ හැඳුනුම්පත් පරික්ෂා කිරිමේ බලය මෙමගින් පොලිසියට හිමිව තිබෙනවා.

ත්‍රස්තවාදයට තුඩු දෙන ආකාරයේ ක්‍රියාත්මක හෝ අදහස් පලකරන ආයතනවලට සීල් තැබීමේ බලය ද පොලිසියට ලබාදී ඇති බවයි ප්‍රංශ රජය සඳහන් කර තිබෙන්නේ.

ඊට අමතරව අධිකරන නියෝගයකින් තොරව සැකකරුවෙකුගේ නිවස පරික්ෂා කිරිමේ බලය ද නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රංශ පොලිසියට හිමි වනවා.

එමෙන්ම රැඳවුම් නියෝගයකින් තොරව සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කිරිමේ හැකියාව ද නව පනත මගින් ප්‍රංශ පොලිසියට හිමිව ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අදාළ පනතට ප්‍රංශයේ ජනාධිපතිවරයා අත්සන් තැබීම සම්බන්ධයෙන් යුරෝපා රටවල් රැසක් හා සංවිධාන රැසක් දැඩි ලෙස විරෝධය පල කර තිබෙනවා.

මැක්රන් විසින් ප්‍රංශයට දිගුකාලීන හදිසි නීතියක් හඳුන්වා දී ඇති බවයි ඇතැමුන් චෝදනා නඟන්නේ.

මේ අතර ප්‍රංශයේ පල වන ලී ෆිගාරෝ පුවත්පත අදාළ පනත සම්බන්ධයෙන් එරට ජනතාවගේ මත විමසීමක් කළා.

එහිදී 67%ක් ජනතාව පැවසුවේ තමන්ගේ මූලික අයිතිවාසිකම් මෙම පනත මගින් උල්ලංඝනය වන බවයි.